
සමාජ මාධ්ය ඔස්සේ නිතර දකින ජනප්රිය චරිතවලට වඩා, සැබෑ ලෝකයේ නිහඬව අසීමිත සේවයක් කරන උතුම් මිනිසුන් අප අතර සිටී. පසුගිය දිනවල මුළු රටම කම්පා කළ අයහපත් කාලගුණය මධ්යයේ බදුල්ල ප්රදේශයෙන් වාර්තා වූයේ එවැනි මනුෂ්යත්වයේ ආලෝකය විහිදුවන කතා පුවතකි. බදුල්ල දිස්ත්රික්කයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ මහා විනාශයක පෙරනිමිති පහළ වෙද්දී, තමන්ගේ ජීවිත අවදානම ගැන කිසිදු තැකීමක් නොකර, නිදා සිටි මිනිසුන් සොයා ගොස් ඔවුන් මරණයෙන් මුදවා ගත් උතුම් භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව මේ වන විට රටේම අවධානය යොමුව තිබේ. උන්වහන්සේ නමින් ටිබෙට් ජාතික එස්. අමරජෝති හිමියන් ය. බදුල්ල පාලාවත්ත ශ්රී බෝධීරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරන උන්වහන්සේගේ මෙම වීර ක්රියාව නිසා අද වන විට පවුල් 150කට අධික පිරිසක් සුවසේ හුස්ම ගනිමින් සිටී.
සිද්ධිය වූ දිනයේ රාත්රියේ ප්රදේශයට නොකඩවා මහ වැසි ඇද හැලෙමින් තිබුණි. මේ මහා වර්ෂාවත් සමඟ කඳුකර ප්රදේශවලට විශාල නායයෑමේ අවදානමක් ඇති විය හැකි බවට අමරජෝති හිමියන්ට සහජ ඉවක් මෙන් දැනී තිබුණි. සිතට දැනුණු මෙම බියත් සමඟ උන්වහන්සේට රාත්රියේ නින්දක් නැතිවාට සැක නැත. අවසානයේදී තවදුරටත් බලා සිටිය නොහැකි වූ තැන, උන්වහන්සේ තීරණයක් ගත්තේය. ඒ පවතින අනතුරුදායක තත්ත්වය ගැන නොසිතා ගම්වැසියන් බේරා ගැනීම වෙනුවෙන් පෙරට ඒමටයි. මහා ඝන අන්ධකාරයත්, ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත්, ලිස්සා යන මාර්ගවල අවදානමත් නොතකා උන්වහන්සේ පා ගමනින්ම ගම්මාන දෙසට වැඩම කළහ.
වාහනයක යාමට පවා නොහැකි දුෂ්කර අවස්ථාවක, සැතපුම් ගණනක් දුර පයින්ම ගමන් කළ උන්වහන්සේ පාලාවත්ත, ගඩාදිගොල්ල සහ කොළොන්ගස්පිටිය යන ගම්මාන වෙත ළඟා වූහ. ඒ වන විටත් බොහෝ දෙනා තද නින්දේ පසුවූ අතර, ඔවුන්ට ඉදිරියේදී සිදුවන්නට යන මහා විනාශය ගැන කිසිදු අදහසක් නොවීය. නිවෙස් දොරවල්වලට තට්ටු කරමින්, නිදා සිටි ජනතාව අවදි කළ උන්වහන්සේ නාය යෑමේ තර්ජනය ගැන කරුණු පහදා දුන්හ. වහාම මෙම ස්ථානවලින් ඉවත් වී පාලාවත්ත පන්සලට පැමිණෙන ලෙස උන්වහන්සේ ජනතාවට දැඩිව අවවාද කළ අතර, උන්වහන්සේගේ වචනය විශ්වාස කළ ජනතාව ඒ මහ රෑ තම දරු මල්ලන් ද රැගෙන විහාරස්ථානය කරා පැමිණියහ.
පසුදා පහන් වන විට අමරජෝති හිමියන්ගේ එම පණිවිඩය කොතරම් වටිනා එකක්ද යන්න ගම්වැසියන්ට පසක් විය. මන්ද යත්, රාත්රියේ ඔවුන් පදිංචිව සිටි නිවාස පිහිටි ප්රදේශවල විශාල නාය යෑම් සිදුවී, ගස් කොළන් සහ යෝධ ගල් පර්වත කඩා වැටී එම නිවාස මුළුමනින්ම පාහේ විනාශ වී තිබූ බැවිනි. යම් හෙයකින් උන්වහන්සේ එදා රාත්රියේ එම වෙහෙසකර ගමන නොගියේ නම්, අද වන විට එම පවුල් 150කට අයත් විශාල පිරිසක් පස් කඳු යට වැළලී ගොස් තිබීමට ඉඩ තිබුණි. ගම්වැසියන්ගේ ජීවිත කිසිදු හානියකින් තොරව බේරා ගැනීමට හැකි වීම ගැන තමන් වහන්සේ අතිශය සතුටට පත්වන බව උන්වහන්සේ ඉතා නිහතමානීව ප්රකාශ කර සිටී.
මේ වන විට විපතට පත් වූ සියලු දෙනාට රැකවරණය සපයන මධ්යස්ථානය බවට පත්ව ඇත්තේ පාලාවත්ත ශ්රී බෝධීරාජාරාම විහාරස්ථානයයි. එහි රැඳී සිටින අවතැන් වූවන් අතර දරු ප්රසූතියට ඉතා ආසන්නව සිටින ගැබිනි මව්වරුන් තිදෙනෙකු ද සිටින බව වාර්තා වේ. එම මව්වරුන්ගේ සහ සෙසු රෝගීන්ගේ සෞඛ්ය තත්ත්වය සොයා බැලීම සඳහා පවුල් සෞඛ්ය සේවිකාවක් ද විහාරස්ථානය තුළ මේ වන විට සේවය කරමින් සිටී. ජාතිය, ආගම හෝ කුලය නොසලකා මනුෂ්යත්වය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා කටයුතු කළ මෙවන් යතිවරුන් මුළු මහත් සමාජයටම ආදර්ශයකි. උන්වහන්සේ සිදු කර ගත්තා වූ මෙම මහා කුසල් කර්මයේ බලයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි එක සිතින් ප්රාර්ථනා කරමු.



