
තව්තිසා දිව්‍ය ලෝකය… ඒක නිකන්ම නිකන් තැනක් නෙවෙයි. ඇස් නිලංකාර කරන රත්තරන්, මැණික් සහ සුවඳ මල් උයන් වලින් පිරුණු දිව්‍ය විමානයක්. ශක්‍ර දේවේන්ද්‍රයාගේ ‘වෛජයන්ත ප්‍රාසාදය’ තමයි මේ හැමදේකම කිරුළ වගේ තිබුණේ.
මේ මහා සැප සම්පත් දැකලා දෙවිවරුන්ට ලොකු මාන්නයක් ආවා. ඔවුන් හිතාගෙන හිටියේ මේ සැප කවදාවත් ඉවර වෙන්නේ නෑ, මේ රන් මාලිගා කවදාවත් විනාශ වෙන්නේ නෑ කියලා. මේ අහංකාරකම නිසා ඔවුන්ට ධර්මය පවා අමතක වෙලා තිබුණේ.
බුදුරජාණන් වහන්සේ මේක දැක්කා.
වචනයෙන් බණ කියනවාට වඩා, ක්‍රියාවෙන් පාඩමක් උගන්නන්න ඕන වෙලාවක් මේක. බුදුරදුන්ගේ බැල්ම යොමු වුණේ තමන්ගේ වම් පසින් වැඩ සිටි, ඍද්ධිමතුන්ගෙන් අග්‍ර වූ මුගලන් මහ රහතන් වහන්සේ වෙත.
”මොග්ගල්ලාන… මේ වෙලාව ඔබේ…”
ඊළඟ මොහොතේ මුගලන් හාමුදුරුවෝ තව්තිසා දිව්‍ය ලෝකයේ පහළ වුණා. දෙවිවරු තාමත් තමන්ගේ විනෝදයෙන් මත්වෙලා හිටියේ.
මුගලන් හාමුදුරුවෝ මහා ලොකු දෙයක් කළේ නෑ. උන්වහන්සේ තමන්ගේ පාදයේ මාපට ඇඟිල්ලෙන්… ඔව්, ඒ පුංචි මාපට ඇඟිල්ලෙන් අර මහා යෝධ වෛජයන්ත ප්‍රාසාදයේ පොළොවට පොඩි තෙරපුමක් කළා.
මුළු අහසම දෙදරන්න ගත්තා!
දෙවිවරුන්ට හිතාගන්නවත් බැරි වුණා මොකද වෙන්නේ කියලා. අර යෝධ වෛජයන්ත ප්‍රාසාදය හරියට හුළඟට අහුවුණු ගහක් වගේ දෙදරන්න පටන් ගත්තා. සදාකාලිකයි කියලා හිතපු රන් කුළුණු පුපුරන සද්දේ ඇහුණා. වහලවල් කඩන් වැටෙන්න ගත්තා.
බියෙන් සලිත වුණු දෙවිවරු කෑ ගහගෙන ඔලුව හැරුන අතේ දුවන්න පටන් ගත්තා.
”අනේ අපේ විමාන විනාශ වෙනවෝ… අපිට රැකවරණයක් නෑ…”
ඒත් පුදුමයකට වගේ, මේ මහා භූමිකම්පාව මැද්දේ මුගලන් හාමුදුරුවෝ කිසිම චලනයක් නැතුව, මහා මේරු පර්වතයක් වගේ නිසලව වැඩ සිටියා.
ඒ වෙලාවේ තමයි දෙවිවරුන්ට තේරුම් ගියේ… මේ භෞතික දේවල්, මේ මාලිගා කොච්චර ලස්සන වුණත්, හිත දියුණු කරපු කෙනෙක්ගේ ඍද්ධිය ඉස්සරහා ඒවා දූවිල්ලක් තරම්වත් ශක්තිමත් නෑ කියලා.
මාන්නය බිඳුණු දෙවිවරු එදා මුගලන් මහ රහතන් වහන්සේ පාමුල වැටිලා තමන්ගේ වරද පිළිගත්තා.
තරූ විතානවසම්



