
සේවයෙන් විශ්‍රාම ගියත් හැම අවුරුද්දකට පාරක්ම ජලාශයේ වතුර අඩු වෙනකොට මගේ පාසල බලන්න යනවා
පාසල් පිට්ටනිය ජලයෙන් යටවෙමින් පවතී. යුද හමුදා සෙබළුන්ගේ මැදිහත්වීමෙන් පාසලේ බඩු බාහිරාදිය සියල්ල ඇද හමාර කර ඇත. මා/නා/ඇලගමුව මහා විද්‍යාලය එළඹෙන සඳුදා පටන් නිල වශයෙන් වසා දැමූ පාසලක් ලෙස සලකනු ඇත. මේ අවසන් ලොග් සටහනයි.
මුතුබණ්ඩා හේරත් (මහින්ද සර්) විදුහල්පති
ඇලගමුව විද්‍යාලය නාවුල.

කඳුළු පිරි දෙනෙත පිටි අතින් පිස දමා පාකර් තින්ත පෑන කලිසමේ රුවා ගත් මුතුබණ්ඩා සර් කෙමෙන් කෙමෙන් ජලයට යටවන ක්‍රීඩා පිටිය සිසාරා බලමින් බර හුස්මක් පිට කළේ පපුව පැලෙන්න එන වේදනාව යටපත් කරගන්නටය. නැවතත් අවශ්‍ය නොවන ලොග් සටහන් පොත හම් බෑගයේ දැමූ ඔහු, පාළුවට ගිය පාසල් වත්ත හා වහලවල් නොමැති ගොඩනැඟිලි දෙස බලාසිටියේ ‘ඉතින් අවසරයි.. මගේ ජීවිතය ගොඩනැඟූ ඔබට අනේක වාරයක් පිං’ කියන්නටය.
මේ 2017 වසරේ මොරගහකන්ද ජලාශයට යටවීමෙන් වසා දැමූ මාතලේ නාවුල ඇලගමුව මහා විද්‍යාලයේ අවසන් විදුහල්පතිතුමන් වන මුතුබණ්ඩා හේරත්ව අදටත් හඬවන කඳුළු කතාවය.
පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍යයෙන් ජනප්‍රියත්වයට පත් වූ හිටපු විදුහල්පතිවරයකු වන මුතුබණ්ඩා හේරත් මහතාගේ අවසන් ලොග් සටහනේ සැඟවුණු කතාව සොයා යන්නට අපට අවස්ථාව උදා විය.
නිර්ව්‍යාජ ගැමිකමින් පිරිනු ඔහු සැබෑ මනුස්සකමින් පොහොසත් මිනිසෙකි. මෙවන් ගුරුවරුන් ලැබූ දරුවන් කෙතරම් වාසනාවන්ත වන්නට ඇද්දැයි අපට හැඟුණේ ඔහු හමු වූ මුල්ම විනාඩියේදීය. ‘ඉතිං මයෙ පුතාලට මොනවද මගෙන් ඕන කරන්නේ.’ ඒ ආදර බර වදන් හැම දරුවකුටම පියෙක් වූ ගුරුවරයකුගේ හදවතින් නැඟෙන නිර්ව්‍යාජ සොඳුරු වදන් පෙළක් බව කීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත්තේය. අපට ඇසීමට තවත් යමක් නොවීය. ඉතිරි වූයේ මේ සොඳුරු ගුරු පියාණන්ගේ කතාව ඇසීම පමණි.
පාසල වතුරෙන් පිරෙනකම්ම කළ සේවය
අකුරු කරන්නට පටන්ගත් දා පටන් උසස් පෙළ හදාරන්නට වෙනත් පාසලකට ගිය වසර දෙකත්, විශ්වවිද්යාලගතව උසස් අධ්‍යාපනය ලැබූ වසර හතර සහ උප ගුරුවරයකු ලෙස වෙනත් පාසලක සේවය කළ වසර තුන හැරෙන්නට, පාසලට වතුර පිරෙන තුරු තමන් අකුරු කෙරූ පාසල අත් නොහල මුතුබණ්ඩා හේරත් නම් අපූරු මිනිසා කඳුළු පිරි දෙනෙතින් තම මතකය අවදි කළේය.
“මම ඉපදුනේ 1961 ජූලි මස හයවැනිදා මාතලේ නාවුල තලාගොඩ කියන ගම්මානයේ. මගේ තාත්තා එච්.එම්. පුංචිරාළ. අම්මා එච්.එම්. බණ්ඩාර මැණිකා. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ නව දෙනෙක්. මම හයවෙනියා. මට ඒ කාලෙ ගෙදරට කියපු නම තමයි මහින්ද. තාත්ත ගොවිතැන් කළේ. අම්මත් ඒ වැඩවලට උදව් කළා. අපේ ගම්මාන සාම්ප්‍රදායික ගම්මාන. එහි නිතරම මුවේ සිනහව පිරිච්ච සුන්දර මිනිස්සු ජීවත් වුණේ. ඇලේ දොලේ වෙල් ඉපනැල්ලේ දුව පනිමින් අපි හැදුනෙ වැඩුනේ.” ගුරු පියාණන් තම ආඩම්බරකාර අතීතය මෙනෙහි කරන්නේ සොම්නස් සිතින් යුක්තව ය.
“මම අකුරු කරන්න ගියේ ඇලගමුව කනිෂ්ඨ විද්‍යාලයට. පස්සෙ කාලේ ඒක මහා විද්‍යාලයක් වුණාට ඒ කාලේ කනිෂ්ඨ විද්‍යාලයක්. සාමාන්‍ය පෙළ වෙනකම් විතරයි තිබුණේ. ඒ කාලේ එක ගොඩනැඟිල්ලක් විතරයි තිබුණේ. ප්‍රදේශයටම තිබුණේ මේ පාසල විතරයි. අවට ගම්මාන හතරක් පහක් විතර තිබුණා. තලාගොඩ, ඇලගමුවගම, කඩවත, මැදපීල්ල සහ කඹරව කියලා පුරාණ ගම්මානත් තිබුණා. ඒ ගම්මානෙට ප්‍රධාන පාරෙ ඉඳලා සැතපුම් හතර පහක් ඇතුළට යන්න ඕන පයින්. ඔවුන් වෙන්ව ජීවත්වුණේ. බඩුගන්න කඩපලට ආවත් කණ්ඩායමක් හැටියට තමයි එන්නේ. හැම ගම්මානෙකම ගොඩක් මිනිස්සු ගොවිතැන් බත් තමයි කළේ.”

අරුම පුදුම ‘පටෝරියන්’ ලෑලි සංඥාව
පාසල වතුරට යටවෙන කාලෙ වෙනකොට පාසලේ තිබුණු පස් හයදෙනකුට බදන්න බැරි මහ රූස්ස ගස් අපි තමයි පැල කළේ. මට මතකයි අපි ඉන්දපු ගස් අන්තිම වෙනකන් තිබුණා. අඹ ගස් කිහිපයක් වගේම සියඹලා ගහක් තිබුණා මට මතක හැටියට. මම පහ හය වසරෙදි වගේ තමයි ඉන්දුවේ. ඒ කාලේ අපිට හරි හරි දේ වෙලා තියෙනවා. මට එතකොට අවුරුදු දොළහක් වගේ ඇති. අපිව දවසක් නාඋල ඉස්කෝලේ ක්‍රීඩා පිට්ටනියක් විවෘත කරන උත්සවයකට එක්කගෙන ගියා. හැම ඉස්කෝලෙකින්ම ළමයි දහය පහළව වගේ ඒ උත්සවයට සහභාගී කරවන්න කිව්වා. ඉතින් අපිවත් එක්කගෙන ගියා. එතකොට හිටියේ ධනපාල කියලා විදුහල්පති කෙනෙක්. අපිට වෙනම කොට කලිසමක් කඩෙන් ගෙනල්ලා රතු පාට බැනියං ඇන්දලා තමයි අපේ කණ්ඩායම එක්කගෙන ගියේ. අපි ඉස්කෝලෙට ගියහම හැම ඉස්කෝලෙම ඉන්න ළමයින්ව පිට්ටනියට දාලා එක පෙළට තියලා සුහද ප්‍රදර්ශන තරගයක් තමයි සූදානම් කරලා තිබුණේ. ඉතිං දුවන්න ලෑස්ති කරලා එක ගුරුවරයෙක් සැරසේන්…. වේන්… කියලා ලෑලි කෑලි දෙකක් එකට හැප්පුවා. ‘පටෝරියන් ගාලා’ අනේ පුතා විශ්වාස කරන්න අපේ කට්ටිය දිව්වෙ නෑ. අපි ඔක්කොම ලෑලි කෑලි දෙක දිහා බලාගෙන හිටියා. අපි දන්නෑ ඒකට දුවන්න ඕනේ කියලා.” ඔහුගේ අතීත කතාව කනට ඉතා මිහිරිය. එය අසන්නකුට වුවද තමන්ද නොදැනුවත්වම ළමා කාලයට කැඳවාගෙන යන්නකි.
“අපේ විදුහල්පතිතුමා අපේ ළඟට ඇවිල්ලා හිනාවෙලා ඔළුව අතගාලා ඇහුවා ඇයි පුතේ දිව්වෙ නැත්තෙ කියලා. අපි කිව්වා අපි දන්නෑ ඒකට දුවන්න ඕනි කියලා. අපි ඒක බලාගෙන හිටියා කියලා. ඒ වෙලාවේ විදුහල්පතිතුමා හරියට දුක්වෙලා අපේ ඔලුව අත ගෑවා. අපිට මුකුත්ම කිව්වේ නෑ.
අකුරු කළ පාසලට දශක දෙකකටත් වඩා කළ සේවය
මම සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ කරන්න ගියේ නවුල මහා විද්‍යාලයට. එතනින් පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. එතනින් පස්සේ මම ප්‍රථම ගුරු පත්වීම නාවුල අඹන මහා විද්‍යාලයට. එතන අවුරුදු තුනක් හිටියා. එතනින් පස්සේ 1996 වගේ ඇලගමුව විද්‍යාලයට උප ගුරුවරයකු වශයෙන් සේවයට වාර්තා කළා. එදා ඉඳන් 2017.01.16 දින දක්වා එම පාසලේ සේවය කරා. අන්තිමට විදුහල්පති වෙලා හිටියේ. ඒලෙවල් කරන අවුරුදු දෙක, කැම්පස් අවුරුදු හතර හා වෙනත් පාසලක ඉගැන්වීම් කළ අවුරුදු තුන හැරෙන්නට අකුරු කළ දා පටන් මා ජීවිත කාලෙම පාසල හා බද්දව තමයි ජීවත් වුණේ. ඒක දෛවෝපගත සිදුවීමක්.”
කටකතාව ඇත්ත වුණ හැටි

ගුරුපියාණන්ගේ මේ කතාව හදවත උණුකරන තරම් ය. තමා අකුරු කළ පාසලට අවසානය තෙක් ඔහු කළ මෙහෙවර වචනවලට පෙරළන මේ ආදරණීය ගුරුතුමන්ගේ කතාව අවසානය තෙක්ම ඇසිය යුතුමය.
“මොරගහකන්ද ජලාශය නිසා මේ ගම්මානත් යටවන බව කලකට ඉස්සර අපේ ගම්මානවල කටකතා ගියා. ඒත් පස්සේ කාලෙක ඒක නැතිවෙලා ගියා. නමුත් 2008 දී වගේ නිල වශයෙන් දැනුම් දුන්නා නැවත කිසිම ඉදිකිරීමත් කොහෙවත් කරන්න බෑ කියලා. කාලයක් ගත වුණා සුපුරුදු පරිදි ජන ජීවිත ගෙවුණා. 2016 වසර වගේ වෙනකොට මිනිස්සු වෙනත් ප්‍රදේශවල පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරුණා. ටික ටික ළමයි අඩු වුණා. ගම්මානෙ හුදකළා වුණා. අන්තිම මාස දෙකහමාරක් විතර යනකම් මම පාසලේ හිටියෙ තනියම. ඒ දවස් වෙනකොට මම නිදි නැතිව රැය පහන් කළ දින අනන්තයි. හදවතට දැනුණු දුක, පාළුව, වේදනාව මට කියාගන්නවත් කෙනෙක් හිඳියෙ නෑ. දරුවන්ගේ කෑ කොස්සන් ගැසීම් කිසිවක් ඇහෙන්නෙ නෑ. සීනුව නාද වෙන්නේ නැහැ. පාසල පුරා හැම තැනින්ම දකින්න ලැබුණේ දුක හිතෙන අසුභ දේවල්.
අන්තිම දවසේ අන්තිම ලොග් සටහන
හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් වහලවල් ගලවනවා. දොර උළුවහු ගලවනවා. මිටි පහරවල් හරියට මගේ පපුවට ගහනවා වගේ. අවට පාසල්වලින් ඇවිල්ල ඩෙස්පුටු බංකු අරගෙන යනවා මහ රූස්ස ගස් පෙරළලා දැව වලට අරගෙන යනවා. මාස දෙකහමාරක් පුරා මම තනියම ඒ අසුභ දේවල් අත්වින්දා. දුක දරා ගත්තා. කොහොම හරි අන්තිම දවසත් උදාවුණා. හවස් වරුව වගේ වෙනකොට පාසල් පිට්ටනිය ජලයෙන් යට වෙන්න ගත්තා. එතකොට තමයි මම ලොග් සටහන් පොත ලියන්න අතට ගත්තේ. වෙනදට ලියපු මේසේ වෙනුවට තිබුණේ කඩා ඉතිරි වුණු බිත්ති කෑල්ලක් විතරයි. ලියන්න හිතේ ගොඩක් දේවල් තිබුණා. වෙව්ලන දෑතින් ඇස්වල කඳුළු කැට පුරවගෙන මම මේක සටහන් කළා.
“2017/01/17 පාසල් පිට්ටනිය දෙසින් ජලයෙන් යටවෙමින් පවතී. යුද හමුදාවේ මැදිහත් වීමෙන් පාසලේ බඩුබාහිරාදිය සියල්ල ඇද හමාර කර ඇත. මා/නා/ ඇලගමුව මහා විද්‍යාලය එළඹෙන සඳුදා පටන් නිල වශයෙන් වසා දැමූ පාසලක් බවට පත් නිල වශයෙන් වසා දැමූ පාසලක් ලෙස සලකනු ඇත. මේ අවසන් ලොග් සටහනයි.”
මුතුබණ්ඩා හේරත් (මහින්ද සර්)
විදුහල්පති, ඇලගමුව මහා විද්‍යාලය, නාවුල.
ඒ මුතුබණ්ඩා ගුරුතුමාගේ ඇලගමුව මහා විද්‍යාලයේ අන්තිම ලොග් සටහනය. මේ කතාවේ ගතයුතු තැන් අද සමාජයට බොහෝ ය. පාසල් හැරයන ගුරුභවතුන්ට තිබෙන උපහාර උත්සව, තෑගි බෝග, ගුණ කථන මේ මුතුබණ්ඩා ගුරුතුමාට හිමිවන්නේ නැත. වසර විස්සකටත් වැඩියෙන් තමා සේවය කළ පාසල ඔහු හැර යන දිනයේ ඔහුට සමුදෙන්නට මනුෂ්‍ය පුළුටක්වත් එහි නොසිටියේ ය. මොරගහකන්ද ජලාශය ජලයෙන් පිරී යද්දී ඇලගමුව විද්‍යාලයේ අතීතය ඒ මහා ජල කඳට යටවී වැළලී ගියද, අද ඒ පිළිබඳ අපට කතා කළ හැක්කේ මෙවන් ගුරුවරයකු නිසා ය. මේ අකමැත්තෙන් වුවද ඔහු පාසලට සමුදුන් හැටි කියන කතාවය.
“වෙනත් ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට වගේ පාසලෙන් යනකොට උපහාර උත්සව නෑ. අඩුම තරමේ යන්නම් කියන්නවත් කෙනෙක් ඉතිරි වෙලා හිටියේ නෑ. පස්සේ පිට්ටනියට උඩින් තියෙනවා පන්ති කාඹරයක් එතනට පිට්ටනිය හොඳට පේනවා. එතන ටිකක් වෙලා හිටියා. එහෙමම පිටත් වුණා. කෙලින්ම කලාපෙට ආවේ ලොග් සටහන් පොත දීලා පිටත් වුණා. මාව වෙනත් පාසලක පුස්ථකාලාධිපති ලෙස නැවත අනුයුක්ත කළා. ඒත් මට මගේ ජීවිතේ වගේ තිබුණු පාසල අමතක කරන්න බැරි වුණා. මම මානසිකව වැටුණා. ඒ නිසාම මම අවුරුදු දෙකකට පෙර සේවයෙන් විශ්‍රාම ගත්තා. දැං මම හැම අවුරුද්දකට පාරක්ම ජලාශයේ වතුර අඩු වෙනකොට මගේ පාසල බලන්න යනවා.”
ඇලගමුව මහා විද්‍යාලයේ මුතුබණ්ඩා හේරත් ගුරුතුමා අපේ කතාවට සමුදුන්නේ එසේය.

නයනදුල සෙන්දනායක



