දේශීය පුවත්

පස් යට සිරුරු සොයන්න පුහුණු සුනඛයන් රටින් ගෙන්වයි….

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු හටගත් දරුණු නායයෑම්වලට හසුවී පස් යට සැඟවී ඇති පුද්ගල සිරුරු සොයා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වීමට විශේෂයෙන් පුහුණු කළ ඉව අල්ලන සුනඛ කණ්ඩායමක් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. නායයෑම් හේතුවෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

පසුගිය නොවැම්බර් මස 28 වැනිදා දිවයිනට කඩා වැදුණු ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මිලිමීටර් 500ක් දක්වා වූ අධික වර්ෂාපතනයක් වාර්තා විය. මෙම ආපදා තත්ත්වයත් සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, මධ්‍යම කඳුකරයේ දිස්ත්‍රික්ක ගණනාවක තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇත.

නායයෑම්වලින් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙකු ‘ඩේලි මිරර්’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ. යුරෝපා සංගමයෙන් විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් ඉල්ලා ඇත්තේ මේ අතරතුරය.

පස් තට්ටු විශාල ප්‍රමාණයක් යට සිරවී ඇති සිරුරු සොයා ගැනීම මානුෂීයව ඉතා දුෂ්කර කාරණයක් වන හෙයින්, තියුණු ඉවක් සහිත පුහුණු සුනඛයන්ගේ සහාය අත්‍යවශ්‍ය බව එම නිලධාරියා වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙම විශේෂඥ සුනඛයන්ට එවැනි සංකීර්ණ තත්ත්වයන් යටතේ සිරුරු හඳුනාගැනීමේ හැකියාව පවතී.

ආපදාවට ලක් වී අතුරුදන් වූ පුද්ගලයන්ගේ නිශ්චිත සංඛ්‍යාව පිළිබඳව විමසූ අවස්ථාවේදී, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියා සඳහන් කළේ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එම වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි.

ℕ – by Yathura Media Networks (Pvt) Ltd

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!