ෂාරුක් ඛාන් ඉපදුණේ 1965 නොවැම්බර් 02 වැනිදා. ෂාරුක් ඛාන් කියලා ගහෙන් ගෙඩි එන්නා වාගේ නිකන්ම ලිව්වේ මුළු ලෝකය පුරාම කෙරුම්කාරයෙක් වෙච්ච ඔහු ගැන අමුතුවෙන් නාම විශේෂණ දාන්න ඕනෙ නැති නිසයි.
එතකොට චන්න පෙරේරා කියන්නෙ කවුද?
චන්න ගැනත් අලුතින් අටුවා ටීකා ලියන්නේ මොකටද? කාලයක් ඔහු ආලින්දයේ සිනමාව පිනවපු ෆේමස්ම ටෙලි තරුවක්. ප්‍රවීණ නිර්මාණකරු නාලන් මෙන්දිස්ට නැතුවම බැරිව හිටපු නළුවෙක්. ‘අංජලිකා’ නිෂ්පාදනය තුළින් ඔහු සිනමාවේ ලොකු පෙරළියක් ඇති කළා මතකයිනේ.
ෂාරුක්වයි, චන්නවයි කම්පෙයාර් කරන්න හදන්නේ ඇයි මේ…?
මුහුණු පොතේ තමයි ඒ දෙන්නව ඊයේ පෙරේදාවක කම්පෙයාර් කරලා තිබුණේ. ඒකට හේතුව ඒ දෙන්නටම 2024 දී වයස අවුරුදු 59ක් සම්පූර්ණ වෙන එකයි.
‘දෙන්නටම අවුරුදු 59යි. සිනමාවේ ආදරවන්තයෝ දෙන්නෙක්. මොනවා වුණත් අපේ එක්කෙනා ලස්සනයි.’
ෂාරුක් ඛාන්ගෙයි චන්න පෙරේරාගෙයි ෆොටෝ දෙකක් එකට දාලා මුහුණු පොතේ ඉහත සටහන කොටලා තිබුණා. ඊට පහළින් වැටුණු කමෙන්ට්ස්වලත් නේක රසට එක් එක්කෙනා තම තමන්ගේ අදහස් දක්වලා තිබුණා.
‘චන්න ලස්සන වුණත් ගතිය තියෙන්නේ ෂාරුක් ළඟ..’
‘ෂාරුක් කිං ඛාන් තමා. ඒත් ඉතින් අපි අපේකම අගයමු…’
‘මම නම් ෂාරුක්ට පට්ට ක්‍රෂ්, චන්නත් හොඳයි. වයස කියන්න බැහැ. ඒත් එයා සීනි බෝලයක් වගේ…’
අන්න ඒ වගේ කමෙන්ට්ස් තමයි තිබුණේ.
ඇත්තටම චන්න ෂාරුක්ට වැඩිය ලස්සනයිද..?
මෙතැන තියෙන්න ඕනේ ලස්සන මුහුණු තරගයක් නෙවෙයි. මෙතැන තියෙන්නේ වයඃ කල්‍යාණය ගැන කතන්දරයක්. වයඃ කල්‍යාණය කියන්නේ වයසට ගියත් වයස නොපෙනෙන පෙනුමක් පිහිටන එකටයි. දෙන්නටම 59යි කියලා චන්නවයි ෂාරුක්වයි කම්පෙයාර් කරලා දාපු ෆොටෝ එක දිහා බලනකොට වයඃ කල්‍යාණය ගැන හිතුවොත් මොනවද කියන්න පුළුවන්?
ඇත්තටම කියනවා නම් ෂාරුක් වැනි ඉන්දියානු සුපිරි තරුවකට උපතින්ම හිමිවන ඇක්ටිව් ලුක් එක සහ අර ඉහතින් සටහන් කරපු ගතිය කියන විශේෂණය හැරුණු කොට එයා චන්නට වඩා තලතුනා පෙනුමයි කියන එක බැලූ බැල්මට පේනවා.
ඒ අතින් බලනකොට චන්නට 59ක් කියලා කියන්න අමාරුයි. අද වුණත් චන්නට පුළුවන් වයස අවුරුදු 23ක 30ක පෙම්වතෙකුට රඟන්න. හැබැයි ෂාරුක්ගේ මූණේ රැලි ගතිය ටක් ගාලා ඇහැට අහුවෙන නිසා ඔහුට අමාරුයි ඒ තරමට ළපටි පෙනුමකට යන්න.
මෙතැනදී ෆොටෝ දෙක තෝරපු කෙනා සහ පෝස්ටුව හදපු කෙනා චන්නගේ පෙනුමට වැඩි වාසියක් එහෙම දුන්නද?.
වෙන්නත් බැහැ එහෙම. මොකද ඊයේ පෙරේදා ආපු ‘යුගාත්‍රා’ ෆිල්ම් එකෙත් චන්න හිටියේ හුඟක්ම තරුණ පෙම්වතෙක් විදියටයි. ඒ වගේම චන්නව හැබැහින් දැක්කමත් ඔහුගේ තරුණ පෙනුම පැහැදිලිව පේනවා. අනෙක ඔහුම ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිදින්
‘හැට පනින්න මට තව අවුරුද්දයි තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද…?’ කියලා අහලා තිබුණා.
ෂාරුක්ටත් එහෙම තමයි ඉතිං. බැලූ බැල්මට 60ට ළඟයි කියලා නම් කියන්න බැහැ නේද?
කොහොමත් කමක් නැහැ. අපි දෙන්නටම සුබ අනාගතයක් කියලා විෂ් එකක් දාමු.
මල්මී කෞෂල්‍යා