ලංකාවටත් ඇවිත් ගිය පොප් සංගීතයේ ලොවක් වසඟ කළ ‘ඇබා’

ලංකාවටත් ඇවිත් ගිය පොප් සංගීතයේ ලොවක් වසඟ කළ ‘ඇබා’

හැටේ හැත්තෑවේ දශකයේ ලොව පුරා තරුණ පරපුර අතර උන්මාදයක් බවට පත්වූ ඩෙනිම් විලාසිතාවට වැඩි ආකර්ෂණයක් ලැබුණේ ඩෙනිම් කලිසමේ පිටුපස පොකැට්ටුවට අල්ලා මසා තිබුණු ‘ඇබා‘ හා බොනිඑම්‘ සන්නාමය සටහන් වුණු ලේබලයත් නිසාමයි. එවකට ඇබා හා බොනිඑම් සංගීත කණ්ඩායම් ඩෙනිම තරමටම ලොව පුරා ජනප්‍රියත්වයට පත්වයි සිටියේ. මේ සංගීත කණ්ඩායම්වල සාමාජිකයන් අද වෙද්දී මහලුවියේ පසුවූවත් ඒ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. මිලියන ගණනාවක ජාත්‍යන්තර රසික රසිකාවියන් අතර පරපුරෙන් පරපුරට අලුත්වන මේ ගීත අදටත් කවුරුත් අඩුවැඩියකින් තොරව අපූරුවට රස විඳිනවා.

ඒ සංගීත කණ්ඩායම් අතුරින් ඊයේ පෙරේදා ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් මුහුදු තීරය දෙවනත් කළ සංගීත ප්‍රසංගයට එක්වුණේ ඇබා සංගීත කණ්ඩායමයි. බෙනී ඇන්ඩර්සන්, බියොන් උවේයස්, ඇග්නීතා ෆෝට්ස්කොග් සහ ඇනී ෆ්‍රිඩ් ලින්ග්ස්ටාඩ් එක්ව බිහි කළ ඇබා සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් එදා ගල්කිස්ස මුහුදු තීරයේ සංගීත ප්‍රසංගයට සහභාගි වුණේ එක් සාමාජිකයකු පමණක් වුවත් තවත් සංගීත ශිල්පීන් රැසක් එක්ව සිටීමෙන් ඒ අඩුව නොදැනෙන්නට ඇති.

වසර 1972දී ස්වීඩනයේ ස්ටොක්හොම් නුවර බිහි වුණු ඇබා සංගීත කණ්ඩායමට ඒ නම වැටුණේ සාමාජික සාමාජිකාවන් සිවුදෙනාගේ නමේ මුල් අකුරු අනුවයි. බෙනීගේ හා බියොන්ගේ නම්වල මුල් අකුරු දෙක මැදි කර ඇග්නීතා හා ඇනීගේ නම්වල මුල් අකුරු දෙක මුලට හා අගට යා කරමින් නිර්මාණය කළ ඇබා සන්නාමය ලෝක සංගීත ක්ෂේත්‍රයේ ආධිපත්‍ය පතුරුවන්න වැඩි කාලයක් ගතවුණේ නෑ. ඇබා ගීත ඇතුළත් මිලියන 385කට අධික ගී තැටි ලොව පුරා උණු කැවුම් මෙන් අලෙවි වෙද්දී ඒ හා සමාන ජනප්‍රියත්වයක් ඔවුන් අත්කර ගත්තා.

Chiquitita, tell me what’s wrong

You’re enchained by your own sorrow

In your eyes there is no hope for tomorrow

How I hate to see you like this

There is no way you can deny it

I can see that you’re oh so sad, so quiet…

ස්පාඤ්ඤ බසින් ‘පුංචි කෙල්ල‘ අරුත ගැන්වෙන ‘චිකිටිටා‘ ඇබා සංගීත කණ්ඩායම ජනප්‍රියත්වයේ මුදුනටම රැගෙන යෑමට සමත්වුණා. 1979 දී මේ ගීතය දොරට වඩිද්දී ඇනී හා බෙනී ගත කරමින් සිටියේ යුග දිවියේ පළමු සංවත්සරයයි. දෙදෙනා විවාහ වුණේ 1978 දී වුණත් ඔවුන්ගේ ඉතිරි සාමාජිකයන් වන බෙනී හා ඇග්නීතාගේ විවාහය සිදුවුණේ 1971දියි. හරියටම ඇබා සංගීත කණ්ඩායම බිහිවීමට වසරකට කලිනුයි. ගිටාරය වයමින් ගී ගයන බෙනී හා බියොන් සංගීතයට පිවිසුණේ හැටේ දශකයේ අගභාගයේදියි. එවකට ඔවුන් දෙදෙනාම විවිධ සංගීත කණ්ඩායම්වලට එක්වී සිටි අතර, ඇබා සංගීත කණ්ඩායමට අඩිතාලම වැටුණේ 1969දී ඇග්නීතා හා ඊට වසරකට පසු ඇනී ගායනයෙන් එක්වීමෙන් පසුවයි. ඇබා බිහිවෙද්දී ඒ නමින්ම ‘ටින් මාළු‘ නිෂ්පාදන සමාගමකුත් ස්වීඩනයේ පිහිටා තිබුණා. ඒ වෙද්දිත් සියවසකට වඩා පැරැණි ටින්මාළු සමාගමේ ඇබා නාමය සිය සාමාජිකයන්ගේ නම්වල මුලකුරුවලට හරි අපූරුවට ගැළපුණු නිසා ඒ නම යොදා ගන්න ඔවුන් තීරණය කරලයි තිබුණේ. ඇරත් ජාත්‍යන්තරයට යෑමට සුදුසුම නම ඇබා බවයි ඔවුන්ට අවබෝධ වුණේ. ඇබා සන්නාමය ඉල්ලා ටින් මාළු නිෂ්පාදන සමාගම වෙත ගිය බෙනීලාට ඒ සඳහා අවසර ලැබුණේ කොන්දේසියකුත් පැනවීමෙන් පසුවයි. ‘අපිව ලජ්ජාවට පත් නොකරන තාක්කල් ඔගොල්ලන්ට මේ නම පාවිච්චි කරන්න පුළුවනි.‘ කොන්දේසිය කෙසේ වෙතත් වැඩි කාලයක් යෑමට පෙර ඇබා සන්නාමය සාර්ථකත්වයේ ඉහළටම රැගෙන යෑමට ඔවුන්ගේ ගී නිර්මාණ සමත්වුණා.

Mamma mia, here I go again

My my, how can I resist you?

Mamma mia, does it show again?

My my, just how much I’ve missed you

Yes, I’ve been brokenhearted

Blue since the day we parted

Why, why did I ever let you go?

Mamma mia, now I really know

My my, I could never let you go…

‘මාමා මියා‘ ගීතය ඇතුළත් වුණේ වසර 1975දි නිකුත් කළ ඔවුන්ගේ තුන්වැනි ඇල්බමයටයි. එය ඉතාලි වදනක්. විස්මය දනවන අරුත දෙන ‘මාමා මීයා‘ ගීතය එවකට බ්‍රිතාන්‍ය ගීත දර්ශකය උඩුයටිකුරු කරවන්න සමත්වුණා. බොහෝ අය කියන්නේ 70 දශකය පොප් සංගීතයේ හොඳම දශකය බවයි. පොප් ශෛලිය පමණක් නොව රෙගේ හා ඩිස්කෝ ශෛලීන් ද එම දශකයේදී ලොව අතිශය ජනප්‍රියත්වයට පත්වයි තිබුණේ. බොනිඑම්, බොබ් මාලේ, ඩොලී පාට්නර්, ඩෝනා සමර්, බීජිස්, එල්ටන් ජෝන් පමණක් නොව මයිකල් ජැක්සන්ලා බටහිර ගීත ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුණේ 70 දශකයේදියි. ඇබා කියන්නෙත් පොප් සංගීත කණ්ඩායමක් ලෙස ප්‍රකට වුණත් ඩිස්කෝ ශෛලියට අයිති ගීත රැසකුත් ඔවුන් නිර්මාණය කළා.

You are the dancing queen

Young and sweet, only seventeen

Dancing queen

Feel the beat from the tambourine

Oh, yeah…

1976දී නිකුත් කළ ‘ඩාන්සින් ක්වීන්‘ එක් රැයකින් මුළු යුරෝපයම වසඟ කරගැනීමට සමත්වූ ගීතයක්. අමෙරිකානු ගීත දර්ශකයේ පළමු තැනට පත්වුණු එකම ගීතයත් එයයි. ඉන් නොනැවතී ඔස්ට්‍රේලියාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, බටහිර ජර්මනිය, රුසියාව ඇතුළු රටවල් ගණනාවක ගීත දර්ශක අලුත් කරන්නත් ‘ඩාන්සින් ක්වීන්‘ ගීතය සමත්වී තිබුණා. ඇබා සංගීත කණ්ඩායම දශකයක් ඇතුළත බටහිර ගීත ලෝකයේ මුදුනටම ගියත්, අවුරුදු 10 සම්පූර්ණ වෙද්දී ඔවුන්ගේ පෞද්ගලික ජීවිත නොයෙකුත් හැලහැප්පීම්වලට ලක්වී තිබුණා. එහි ප්‍රතිඵලය වුණේ 1982දී කණ්ඩායම විසුරුවා හැරීමයි. ඊට ආසන්නතම හේතුව වුණේ ඒ වෙද්දී බෙනී යුවළත්, බියොන් යුවළත් ඔවුනොවුන්ගේ විවාහ කුරුටු ගා තිබීමයි. දෙගොල්ලොම දික්කසාද වුණේ සංගීත කණ්ඩායමේ හොඳම කාලයේදියි. ඇග්නීතා – බියොන් යුවළ දික්කසාද වුණේ 1982දියි. ඊළඟ අවුරුද්දේදී බෙනී – ඇනී යුවළත් දික්කසාද වුණා. වෙන්වීමෙන් පසු ඔවුන් තනි තනිව ක්ෂේත්‍රය තුළ නිර්මාණ බිහි කළත්, ඇබා සංගීත කණ්ඩායම හැටියට දශකයක් පුරා දායාද කළ ගීතවලට ලොව පුරා රසික රසිකාවියන් අතර තිබුණු ජනප්‍රියත්වය අඩු වුණේම නෑ.

 

ඒ කාලය තුළ ‘ඇබා‘ සාමාජිකයන් යළි එකතු කිරීමට ලොව පුරා විවිධ සංගිත සමාගම් දැඩි උත්සාහක නිරතවයි සිටියේ. 2000 වසරේදී අමෙරිකානු – බ්‍රිතාන්‍ය ඒකාබද්ධ එක්තරා සමාගමක් ඔවුන්ට යෝජනා කළේ යළි එක්වී සංගීත ප්‍රසංග 100ක් පැවැත්වීමටයි. ඒ සඳහා යෝජනා කළ මුදල අමෙරිකානු ඩොලර් බිලියනයක්. ඉල්ලීම ප්‍රතික්ෂේප වුණත්, ඊට අවුරුදු 34කට පසු ඇබා ප්‍රතිනිර්මාණය කිරීමට මේ සිව්දෙනා තීරණය කළා. 2016දී නැවත අලුත් වුණු ඇබා සංගීත කණ්ඩායමේ ඊළඟ ගීත ඇල්බමය නිකුත් වුණේ අවුරුදු 40කට පසුව 2022දී පැවැති ඇබා පනස්වැනි සංවත්සරයේදීයි. මේ වෙද්දී ඇග්නීතාට අවුරුදු 74යි. බියොන්ට අවුරුදු 79යි. බෙනී 78 වැනි වසරට පිවිසී සිටින අතර, ඇනී ගත කරමින් සිටින්නේ 79 වැනි වසරයි. ඇබා ප්‍රතිනිර්මාණය වීමෙන් පසු කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුවුණා. මහලුවියට පා තැබූ සාමාජිකයන්ගේ අඩුව පුරවීමට ඔවුනගේ රූපයට සමාන තරුණ වියේ පසුවන ‘බොඩි ඩබ්ල්‘ ගායක ගායිකාවන් ද කණ්ඩායමට එක්වුණා. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ පනස්වැනි සංවත්සරයත් සමඟ ආරම්භ වුණු ලෝක සංගීත චාරිකාවේ එක් පියවරක් වශයෙනුයි.

If you change your mind, I’m the first in line

Honey I’m still free

Take a chance on me

If you need me, let me know, gonna be around

If you’ve got no place to go, if you’re feeling down

If you’re all alone when the pretty birds have flown

Honey I’m still free

Take a chance on me…

ෆවුස් මොහොමඩ්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *