දමිල සිනමාවේ වීරයා සුපිරි නළු විජේ සිනමාවට සමු දෙයි ?

දමිල සිනමාවේ වීරයා සුපිරි නළු විජේ සිනමාවට සමු දෙයි ?

දමිළ සිනමාවේ සුපිරි නළු විජේ මේ ගෙවමින් සිටින්නේ ඔහුගේ නළු ජීවිතයේ අවසන් අදියර බව පැවසෙනවා. ඔහු රඟපාන අවසන් චිත්‍රපටය මේ දිනවල රූපගත කරමින් ඇති බවත් ඉන්දීය මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණා. මෙම චිත්‍රපටයෙන් පසු විජේ, රංගන ජීවිතයට සමු දී පූර්ණ කාලීනව දේශපාලනයට එක්වීමට අදහස් කරගෙන සිටින බවයි සඳහන් වන්නේ.

තමා සිනමා රංගනයෙන් සමුගන්නා බවත්, දේශපාලනය වෙනුවෙන් සම්පූර්ණ කාලය යොදවන බවත් විජේ පළමු වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ පසුගිය වසරේ මුල් කාලයේ යි.

කෙසේ හෝ වේවා, ඔහුගේ අවසන් චිත්‍රපටය ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිව තිබෙනු දැකිය හැකිවුණා. එ්, එහි නම පළමු වරට ප්‍රකාශයට පත්වීමත් සමඟයි. මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගිය ඔක්තෝබරයේ පමණ ආරම්භ වුණත් එයට නිශ්චිත වශයෙන් නමක් තබා තිබුණේ නැහැ. තාවකාලිකව එය නම් කර තිබුණේ ‘තලපති 69’ යනුවෙන්. එයට එම නම තබා තිබුණේ මෙය විජේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන 69 වැනි සිනමාපටය නිසායි.

 

කෙසේ හෝ වේවා, චිත්‍රපටයේ නිල නාමය එහි නිෂ්පාදකයන් විසින් පසුගිය 26 වැනි දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඔවුන් මෙය නම් කර ඇත්තේ ‘ජන නායගන්’ යනුවෙනුයි. එහි අරුත ‘ජනතාවගේ නායකයා’ යන්න යි. මෙම නම ප්‍රකාශයට පත් කළේ ඉන්දියාවේ ජනරජ දිනයේ වීමත් විශේෂත්වයක්.

‘ජන නායගන්’ දේශපාලන තේමාවක් රැගත් උද්වේගකර සිනමාපටයක් බවට ආරංචි පළ වී තිබෙනවා. විජේ ළඟදීම දේශපාලනයට එක්වීමට සිටින පසුබිමක් තුළ මෙම සිනමාපටය ඔහුගේ එම දේශපාලන ගමනට ලොකු තල්ලුවක් දෙන්නක් වනු ඇති බව නොඅනුමාන යි.

චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ වුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේයි. මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට මුලින්ම රූපගත කර තිබුණේ ගීත ජවනිකාවක්. විජේ සහ ජනප්‍රිය නිළි පූජා හෙග්ද් මේ ජවනිකාවට පෙනී සිටි බව සඳහන්. තවත් අමතර ශිල්පීන් ශිල්පිනියන් 500ක් පමණත් මෙහි රඟ පෑ බව මාධ්‍ය වාර්තාවල දැක්වුණා. දැවැන්ත දර්ශණ තලයක දින පහක් තිස්සේ මෙම ගීත ජවනිකාව රූපගත කෙරුණු බවත් සඳහන්. විජේ සහ පූජා දෙදෙනාට අමතරව බොබි ඩියෝල්, ප්‍රියමනි, ප්‍රකාශ් රාජ් වැනි නළු නිළියන් ද මෙයට රංගනයෙන් දායක වෙනවා.

මේ වන විට මෙහි රූපගත කිරීම්වලින් සියයට 70 ක් පමණ අවසන් බවයි නිෂ්පාදක සමාගම පවසන්නේ. මේ වසරේ මැයි මාසය වනවිට එම කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමටත් චිත්‍රපට කණ්ඩායම අපේක්‍ෂා කරනවා. එයින් පසු විජේ දේශපාලන කටයුතු නිසා කාර්යබහුල වනු ඇති බවයි පැවසෙන්නේ.

2026 වසරේ මැද භාගයේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වීමට නියමිතයි. විජේගේ පක්‍ෂය වන තමිලග වේට්රි කසාගම් නමැති පක්‍ෂයත් මෙම මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටිනවා. විජේත් මෙම මැතිවරණයට ඉදිරිපත් වනු ඇත. ‘ජන නායගන්’ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වූ පසු විජේ ඉහත කී මැතිවරණය ඉලක්ක කරගත් දේශපාලන කටයුතුවලට කාලය යොදවනු ඇත.

‘ජන නායගන්’ චිත්‍රපටයේ නම ප්‍රකාශයට පත් කළ දිනයේම එහි පෝස්ටර දෙකකුත් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. එ්වාට විජේ ගේ රසික රසිකාවන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී තිබෙණුත් දැකගන්නට ලැබුණා. වාහනයක් මත නැඟුණු විජේ සෙල්ෆි ඡායාරූපයක් ගන්නා ආකාරයත්, වාහනය වටා විශාල ජනතාවක් රැස්ව සිටින අන්දමත් එක් පෝස්ටරයක දැක්වෙන අතර විජේ කසයක් අතින් ගෙන සිටින ආකාරය අනෙක් පෝස්ටරයේ දිස්වෙනවා.

විජේ සිනමා රංගනයෙන් ඉවත් වීම ඔහුගේ රසික රසිකාවන් තුළ විශාල කම්පාවක් ඇති කරන්නක් වනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් ඔහුගේ ඉදිරි දේශපාලන ගමන ගැන ඔවුන් බොහෝ දෙනා දැඩි බලාපොරොත්තු තබාගෙන සිටිනවා.

මෙතෙක් තිරගත වූ විජේගේ අවසන් චිත්‍රපටය වූයේ පසුගිය වසරේ තිරගත වූ The Greatest of All Time චිත්‍රපටයයි. එය ඉතා සාර්ථක අන්දමින් තිරගත වූ අතර 2024 වසරේ වැඩිම ආදායම් ඉපැයූ දමිළ චිත්‍රපටය හැටියට වාර්තාවක් ද පිහිටුවූවා.

කසුන් අරවින්ද

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *