නැවත වතාවක් බොලිවුඩයම දෙවනත් කරපු සුපිරි තාරකාව..!

නැවත වතාවක් බොලිවුඩයම දෙවනත් කරපු සුපිරි තාරකාව..!

උතුරු ඉන්දියානු සිනමාවේ සුපිරිම තාරකාවක වූ මධුරි ඩික්සිත් නැවත වතාවක් බොලිවුඩය දෙවනත් කිරීම ආරම්භ කොට ඇත. ඒ, ප්‍රවීණ සිනමාකරු අනීස් බාස්මිගේ ‘භූල් භූලයියා’ (Bhool Bhulaiyaa) සිනමා පටය හරහාය. භූල් භූලයියා ඉන්දියාවේ චිත්‍රපට හෝල් පුරා දැවැන්ත කටවුට් සහිතව ප්‍රදර්ශනය වීම ආරම්භ වූයේ නොවැම්බර් 01 වැනිදාය. සති තුනක් ඉකුත්ව ගිය තැන අද වනවිට ‘භූල් භූලයියා’ අතිසාර්ථක ගමනක නියැළෙමින් වාර්තාගත දින කිහිපයක් අවසන් කොට ඇත. මධුරි ඉන්නේ ඒ පිළිබඳ දැඩි ආත්ම තෘප්තියකය. ඒ තෘප්තිමත් හැඟීම මත මධුරි තම අතීතයේ සමහර තැන් ගැන විවෘතව සිහිපත් කරමින් එච්.ටී. එන්ටර්ටේන්මන්ට් ඩෙස්ක් මාධ්‍ය ආයතනය සමග කතිකාවකට එක්වූවාය.

මධුරි සිනමාවට ආයුබෝවන් කියා ඩොක්ටර් ශ්‍රී රාම් සමග විවාහ වී විදේශගත වූයේ බොලිවුඩයේ ජනකාන්තම සුපිරි තාරකාවක ලෙස ඔටුනු පැලඳ සිටි කාලයේය. ඒ 90 දශකය විය. චිත්‍රපට නිෂ්පාදකවරුන් මධුරිව තම සිනමා පටයට ගන්න කොයි මොහොතේ අවස්ථාව උදාවෙයිදැයි කියා බලා සිටින ඒ කාලයේ සමහර සුපිරි සිනමා නළුවන් මධුරි නැති තිර පිටපත් බාර නොගන්නා ඒ කාලයේ මධුරි හිටි අඩියේම තමා සිනමාවට සමු දෙන බව මාධ්‍යයට පැවැසුවාය. එවක බාරගෙන සිටින චිත්‍රපට නිම කරනවා හැරෙන්නට අලුත් ඇග්‍රිමන්ට් සයින් නොකිරීමට ඈ බොහෝ පරෙස්සම් වූවාය.

‘අයියෝ මධුරි… මේ මොනවා කරන්න හදනවද?’

90 දශකය වර්ණවත් කරමින් සිටි ප්‍රවීණයන් සහ නවකයන් වූ සුපිරි නළුවන් තැන තැන ඒ ගැන නන්දෙඩූහ.

‘මේ තරම් ලොකු පිපිරීමක් හිටි අඩියේ…. දෙවියනි ඔබ මේ මොනවා කරන්නට හදනවද?’

මධුරිගේ සුන්දර සිනහව සහ මධුර ලාලිත්‍යය අලෙවි කරමින් කෝටි ප්‍රකෝටි ගණන් ඉපැයූ නිෂ්පාදකවරු නළලේ දෑත් ගසමින් තක්කු මුක්කු වූහ.
ඕපාදූප සොයමින් සැරිසරන පැපරාසීන්,

‘මධුරි ජී හදිසියේ මෙලෙස ගසා බසා දමා යෑමට හේතු වූ කාරණය කුමක්ද?’
එලෙස අසා සිටියේ වරක් දෙවරක් නොවේය.

‘උතුරු ඉන්දියානු සිනමාවට මම ණයගැතියි. ඒත් ඩොක්ටර් ශ්‍රී රාම් වෙනුවෙන් මම ගෙන ආ ණය ආත්මිකයි. මේ සමුගැනීම ඔහුගේ සංසාරගත ආදරය වෙනුවෙන් ඒ ගනුදෙනුව පියවීම සඳහායි…’

මාධ්‍ය සමග හැමදාමත් සුහදව හිනැහුණු මධුරි පැපරාසීන් වෙනුවෙන් එදා ඒ උත්තරය බැරිම තැන දුන්නේද ඇගේ වශියක් වැනි හිනාවත් එක්කමය. එලෙස හිනැහී ඩොක්ටර් ශ්‍රී රාම් සමග ඈ යන්නට ගියාය. අපූරු පවුලක්ද තැනුවාය. විටින් විට සිනමාව සමග සම්බන්ධව සිටියද ‘භූල් භූලයියා’ වැනි දැවැන්ත නිර්මාණයට ඈ සම්බන්ධ වූ මතක ඇති අවස්ථාව මෙය විය. එතැනදීද මාධ්‍ය ඇගෙන් හාර හාරා ඇසුවේ,

‘ඇයි එදා හිදිසියේම එහෙම යන්න ගියේ?’ කියලාය.

කිසිම හදිසියක් තිබුණෙ නැහැ. දාලා යන්න කාරණයක් තිබුණෙත් නැහැ. සුපිරි තරුවකව සිටින උච්චතම අවස්ථාව ගැන මට ලෝබකමක් නිකමට හෝ දැනුණේ නැහැ. මට ඕනෑ වුණා මටමය කියා පුද්ගලික ජීවිතයක්. මගෙම කියා විශේෂ කෙනෙක්. මගෙම කියා පවුලක් මට ඕනෑ වුණා. ඒ හැම වුවමනාවකට අවශ්‍ය සොඳුරු ගෙදරක යතුර අරන් අපූරු දොස්තර මහත්මයෙක් එතකොටම මගේ ජීවිතේ ඉස්සරහට ආවා. එතකොට මං කිව්වා,
‘මම ලෑස්තියි අපි යමු’ කියලා. එච්චරයි එතැන වුණේ.

තේෂාබ් ෆිල්ම් එකේ සුන්දර නාට්‍යාංගනාව වූ පියකරු ඒක් දෝත් තීන් කෙල්ල මෙදා එහෙම කියලා එදා වාගෙම ලස්සනට හිනැහුණා. මධුරි සිය ඉන්ස්ටර්ග්‍රෑමයේද එය මුදාහැරියා. බොහෝ ආදරණීය කමෙන්ට් මහ ගොඩක් හාදු වැස්සක් එක්ක ඒ පාමුල තිබුණා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *