දේශීය පුවත්

ළැගුම් හලේ සිටි ව්‍යාපාරිකයාව කොල්ල කෑ කොස්තාපල් දෙදෙනා අත්අඩංගුවට

කඩුවෙල නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි ව්‍යාපාරිකයෙකුට පහර දී දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට පත් සැකකරුවන් අතර මාලබේ පොලිසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙන්ම අදාළ ලැගුම්හලේ කළමනාකරු සහ එහි සේවකයෙකු ද සිටින බව පොලිසිය තහවුරු කරයි.

සිද්ධියට මුහුණ පා ඇත්තේ කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු බියගම ප්‍රදේශයේ සිටින තම දරුවා බැලීම සඳහා පැමිණ ආපසු නිවස බලා යාමට කඩුවෙල නගරයට පැමිණ ඇති අතර, ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් රජයේ බැංකුවක් අසල පිහිටි ලැගුම්හලක කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන ඇත.

අදාළ අවස්ථාවේදී සැකකරුවන් සිව්දෙනා ලැගුම්හල් හිමිකරු සමඟ මත්පැන් පානය කරමින් සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පසුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ව්‍යාපාරිකයා රැඳී සිටි කාමරයට ගොස් පරීක්ෂා කිරීමක් සිදුකළ යුතු බව පවසා බලහත්කාරයෙන් දොර විවෘත කරවාගෙන ඇති අතර,

එහිදී ව්‍යාපාරිකයාට පහර දී ඔහු සතුව තිබූ මුදල් සහ රන් මුදුවක් කොල්ලකා ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ගාල්ල නාගොඩ සහ ඉමදුව කෝමළ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සෙසු සැකකරුවන් දෙදෙනා පිළියන්දල සහ ගිනිගත්හේන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. 

ℕ – by Yathura Media Networks (Pvt) Ltd

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!