විශේෂාංග

මැරුන විදිය අදටත් සොයාගන්න බැරි බුවනෙකබාහු රජුගේ ඝාතනය.

මැරුන විදිය අදටත් සොයාගන්න බැරි බුවනෙකබාහු රජුගේ ඝාතනය.
ක්රිස්තු වර්ෂ 1521දී විජයබාහු රජුව ඝාතනය කළ ප්රසිද්ධ කුමන්ත්රණයෙන් පස්සේ කෝට්ටේ රාජධානියේ බලය බෙදිලා ගියේ ඔහුගේ සහෝදරයන් තුන්දෙනා අතරේ. වැඩිමහල් බුවනෙකබාහුට ලැබුණේ රාජධානියේ ලොකුම කොටස – ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය ඇතුළුව පුත්තලමේ සිට මාතර දක්වා වෙරළබඩ තීරය, සියනෑ කෝරළේ, අලුත්කුරු, පරණකුරු, හත්කෝරළේ වගේ ප්රදේශ ගොඩක්. මැද සහෝදර රයිගම් බණ්ඩාරට ලැබුණේ රයිගම්, වලල්ලාවිට, පස්යොදුන් කෝරළේ වගේ තව කොටසක්. බාල සහෝදර මායාදුන්නේට ලැබුණේ සතරකෝරළේ, තුන්කෝරළේ, දෙකෝරළේ වගේ සීමිත ප්රදේශයක්.
බුවනෙකබාහු මුලදී ඉතාම සාමකාමීව රාජ්යය පාලනය කළා. නමුත් ඔහුගේ බාල සහෝදර මායාදුන්නේ ගැන ඔහුට ලොකු බයක් තිබුණා. මොකද මායාදුන්නේ තමයි විජයබාහු රජුව ඝාතනය කරන්න පෙරමුණ ගත්තේ. ඒ නිසා බුවනෙකබාහු හිතුවේ මායාදුන්නේ කවදාහරි තමන්ටත් එහෙම කරයි කියලා. මායාදුන්නේගේ ආක්රමණශීලී ගතිගුණයත්, කාර්යශූර බවත් දැකලා බුවනෙකබාහු ඔහුට එරෙහිව සැලසුම් කරන්න පටන් ගත්තා. ඒත් ඒ බව මායාදුන්නේට නොදැනෙන්නට කල හැකි සියලුම දේ බුවනෙකබාහු සිදු කලා.
මායාදුන්නේ කවදාවත් ලැබුණු දේට සතුටු වෙන කෙනෙක් නෙවෙයි. ඔහුට ලැබුණු කුඩා ප්රදේශය ගැන ඔහු පසුතැවිල්ලෙන් සිටියා. ඒ වගේම බුවනෙකබාහු විස්වාස කලා, මායාදුන්නේ ඕනෑම මොහොතක ක්රියාත්මක වෙලා තමන්ගේ රාජ්යය පැහැරගනී කියලා. ඒ නිසා ඔහු පෘතුගීසීන් සමඟ මිත්රත්වයක් ගොඩනඟා ගත්තා. ඔහු පෘතුගීසීන්ගේ ආධාරයෙන් මායාදුන්නේ පරාජය කිරීම තමන්ට පහසු වේවී යන්න විස්වාස කලා.
ඒ අතරේ මායාදුන්නේ තමන් විසින් කෝට්ටේ රාජධානියට ගෙවිය යුතු අයබදු නොගෙවා පැහැර හරින්නට වුනා. රයිගම් බණ්ඩාරත් , මායාදුන්නේ අනුකරණය කරමින් අයබදු ගෙවීම නවත්වා දැමුවා. බුවනෙකබාහුට මේ තත්වය ලොකු අභියෝගයක් වුණා. ඔහු පෘතුගීසීන් සමඟ තවත් සමීප වෙලා මායාදුන්නේ මැඩලීමට සීතාවක ආක්රමණය කිරීමට සැලසුම් සකස් කලා.. පළමු වතාවේ මායාදුන්නේ මේ ආක්රමණයෙන් පසු බැස බටුගෙදරට පලා ගියා. සීතාවක විනාශ කරලා දාපු බුවනෙකබාහු නැවතත් කෝට්ටේ රාජධානිය වෙත ආවා.
වසර කිහිපයක් ගියාට පස්සේ මායාදුන්නේ නැවතත් කැරැල්ලක් ආරම්භ කලා. මේ නිසා බුවනෙකබාහු දෙවෙනි වතාවටත් සීතාවක ආක්රමණය කළා. එවර මායාදුන්නේ පලා ගියේ දැරණියගලටයි. මේ කාල වකවානුවේ රයිගම් බණ්ඩාර මිය ගිය නිසා ඔහුගේ ප්රදේශයත් මායාදුන්නේ අත්පත් කරගත්තා. මේ කාලය වන විට මායාදුන්නේ ක්රමයෙන් බලවත් වෙමින් පැවතීම බුවනෙකබාහුට හිසරදයක් වුනා.
බුවනෙකබාහුගෙන් පසුව ඔහුගේ රාජ්යත්වය හිමි වීමට නියමිතව තිබුනේ තමන්ගේ මුණුබුරා එසේත් නැත්නම් තමන්ගේ දියණියගේ පුත්රයා වූ ධර්මපාලටයි. නමුත් පෘතුගීසීන් රාජධානියේ කටයුතුවලට දැඩිලෙස මැදිහත් වී සිටි නිසා ඔහුට තමන්ගේ ස්වාධීනත්වය රැකගැනීම අපහසු වුනා. පෘතුගීසීන්ගේ ඉල්ලීම උනේ මීලගට ශ්රී ලංකාවේ රජය විය යුත්තේ ක්රිස්තියානි රජ කෙනෙක් පමණක් බවයි. බුවනෙකබාහුට ඒකට විරුද්ධ වෙන්න බැරි තරම් තත්වයක් උදා වුනා. ඒකට හේතුව වුනේ, බුවනෙකබාහුගෙ ආරක්ෂාව පෘතුග්රීසින්ගේ අතේ තිබිමයි.
මේ තත්ත්වය තුළ බුවනෙකබාහු කාලය ගත කලේ මහත් කලකිරීමකින්. මායාදුන්නේගේ බලය වැඩිවෙනවා දකිද්දීත්, පෘතුගීසීන්ගේ ආධිපත්යය වැඩිවෙනවා දකිද්දීත් ඔහුට කරන්න කිසිවක් තිබුණේ නැහැ. එක් දවසක ඔහු මනස සන්සුන් කරගැනීම සදහා කැලණියේ තිබූ පස් මහල් ගොඩනැගිල්ලකින් සමන්විත රාජකීය මාලිගයට ගියා. එම සැන්දෑවේ රජු පස්වැනි මහලේ කවුළුව අසල හිටගෙන පහළ පෘතුගීසීන් ආහාර ගන්නවා බලන් හිටියා. එකපාරටම පැමිණි වෙඩි පහරක් හිසට වැදීමෙන් රජු එතැනදීම මිය ගියා. මේක සිද්ධ වුණේ ක්රි.ව. 1550 වසරේ දෙසැම්බර් 29 වෙනිදායි.
ඒ අනුව ක්රියාත්මක වූ වීදියබණ්ඩාර වහාම රජුගේ දේහය කෝට්ටේට ගෙන ගියා. රාජකීය ගෞරවයෙන් අවමංගල්යය සිදු කල පසු ඔහුගේ භස්මාවශේෂ ත්රිකුණාමලයට ගෙන ගොස් තැන්පත් කළා.
කෙසේ වෙතත් රජුගේ ඝාතනය සිදු වූයේ කෙසේද යන්න අභිරහසක් වුනා. මෙම ඝාතනයේ ප්රධාන සැකකරු වුණේ කැලණිය ප්රදේශයේ වාසය කල සුදු සහ කළු මිශ්ර අන්තෝනියෝ නම් පෘතුගීසි සෙබළෙක්.
නමුත් පෘතුගීසීන්ගේ මතය වුනේ මායාදුන්නේ අල්ලස් ලබා දී මෙය සිදු කලා යන්නයි. තවත් අදහසක් වුනේ මෙය පෘතුග්රීසින් ගේ කුමන්ත්රණයක් බවයි. කෙසේ වෙතත් අන්තෝනියෝ මිය යන වෙලාවේ ප්රකාශ කර තිබෙන්නේ තමන් පරෙවියෙක්ට වෙඩි තැබීමට උත්සාහ කල අවස්ථාවේ එය රජුගේ හිසේ වැදුණු බවයි. නමුත් එම කාලයේදි හෝ කිසිවෙක් එය විස්වාස කලෙ නැහැ.
රාජාවලියේ කතුවරයා සදහන් කරන ආකාරයට මෙම ඝාතනය දැන දැන සිදු කල එකක්ද අහම්බයක්ද යන්න දන්නේ දෙවියන් පමණයි.
ඒ අනුව බුවනෙකබාහු රජුගේ මරණය, සිංහලය ඉතිහාසයට එකතු වුනේ අභිරහසක් ලෙසයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!