සයුරෙන් එහා පුවත්

ජෝන් සීනා කිව්වම කවුද නොදන්නේ?

ජෝන් සීනා කිව්වම කවුද නොදන්නේ?
ඔහු තමයි WWE ලෝක ශූරතාව වැඩිම වාර ගණනක් (17 වතාවක්) ජයග්රහණය කරමින් රෙස්ලින් වළල්ලේ රැස් විහිදවපු ක්රීඩකයා. හැබැයි වසර 26කට පසුව, පසුගිය 13 වැනිදා රාත්රියේ ඔහු රෙස්ලින් ක්රීඩාවට සමුදුන්නා. ඒ ගුන්තර් සමඟ තම ජීවිතයේ අවසන් රෙස්ලින් තරඟයට සහභාගී වෙමින්.
“මිනිස්සු ඒ විදියට හැඟීම්බර වෙලා අඬනවා මීට කලින් මම දැකලා තියෙන්නේ කෙනෙක් මැරුණට පස්සෙ විතරයි…”
ජෝන් ෆීලික්ස් ඇන්තනී සීනා හෙවත් ජෝන් සීනාගේ අවසාන රෙස්ලින් තරඟයෙන් පස්සෙ මිනිස්සුන්ගෙ දිස්න ගහපු ඇස්වල උතුරන කඳුළු දිහා බලාගෙන එහෙම කිව්වේ මාර්ක් හෙන්රි. ඔහුත් රෙස්ලින් වළල්ලේ විස්කම් පෙන්වපු ප්රසිද්ධ රෙස්ලින් ක්රීඩකයෙක්. ජෝන් සීනා රෙස්ලින් වළල්ලට සමුදෙද්දි ඒ විදියට හැඟීම්බරව අඬපු උදවිය අතර වැඩි පිරිසක් හිටියේ කාන්තාවන් සහ දරුවන්. සීනාට මිනිස්සු මේ තරම් ආදරේ ඇයි කියලා පැහැදිලි කරගන්න අපි එක කතාවක් විතරක් කියන්නම්.
මීට මාස කිහිපයකට කලින් දවසක රෙස්ලින් වළල්ලේදී රෙස්ලින් ක්රීඩක රැන්ඩි ඕර්ටන් කියන ක්රීඩකයා ජෝන් සීනාට ඇස් රතුවෙන විහිලුවක් කළා. ඒ ඔහු විවාහ වෙලත් දරුවන් නැති එක ගැන. ඒ වෙලාවේ එතැන සිටි දහස් සංඛ්යාත නරඹන්නන් එක මොහොතකින් හැඟීම්බර කරමින් ඔවුන්ගේ දිහාවට අත දිගුකරපු සීනා කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.
“රැන්ඩි ඔබ දන්නවද මට දරුවෝ නැත්තේ ඇයි කියලා? ඒ අවුරුදු 23ක කාලයක් මං මේ අයගේ දරුවන් වෙනුවෙන් කැපවුණු නිසා…”
සීනාගේ මේ කතාව රැගත් වීඩියෝවට දවසක් දෙකක් ඇතුළත ලෝකය පුරාම සංචාරය කරන්න තටු ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඔහු කියපු ඒ කතාවේ තේරුම මොකක්ද කියලත් බොහෝදෙනෙක් හොයන්න පටන්ගත්තා. අන්න එතකොටයි වලියට බර ජෝන් සීනා ඇත්තටම මොන වගේ චරිතයක් ද කියන එක කාට කාටත් තේරුම් ගියේ.
“රෙස්ලින් වළල්ලේ ඔහු සටන්කාමියෙන් උනාට ඒ සටන්කාමියා තුළ ඉන්නේ හිතාගන්නත් බැරි තරම් සංවේදී මනුස්සයෙක්.”
ජෝන් සීනා තුළ ජීවත්වෙන සංවේදී මිනිසාව කියවූ උදවිය එතැන් පටන් ඔහුට දීපු චරිත සහතිකය තමයි ඒ.
“ජෝන් සීනා ලොව පුරා දරුවන්ගේ වීරයෙක්…”
කොහොමද ඔහු දරුවන්ගේ වීරයෙක් වෙන්නේ? ඔබ අහලා ඇති ‘Make A Wish Foundation’ කියන ලෝක ප්රසිද්ධ පදනම ගැන. ඒක පිළිකා රෝගය ඇතුළු විවිධ මාරාන්තික රෝග නිසා ජීවිත අවදානමට ලක්වෙලා ඉන්න දරුවන්ගේ අවසන් කැමැත්ත සපුරන සහ ඔවුන්ට ප්රතිකාර කිරීමට දායකත්වය දක්වන පදනමක්. ඉන්දිරා පිළිකා භාරයේ, නේවාසිකව ප්රතිකාර ලබන පිළිකා රෝගී දරුවන්ගේ අවසන් කැමැත්ත ඉටුකිරීමට මේ පදනමේ ශාඛාවක් මේ වනවිට ලංකාවෙත් ස්ථාපිත කරලා තියෙනවා. බොහෝ වෙලාවට මේ පදනම සමඟින් එකතු වෙලා ඉන්නේ ලෝකයේ ජනප්රිය චරිත. රෙස්ලින් ක්රීඩක ජෝන් සීනාත් ඒ අතරින් කෙනෙක්. ‘Make A Wish Foundation’ පදනම සඳහන් කරන විදියට ඔවුන් සමඟ එක්ව මේ දක්වා රෝගී දරුවන්ගේ වැඩිම ප්රාර්ථනා ප්රමාණයක් ඉටුකරන්න සහභාගී වෙලා තියෙන පුද්ගලයා වෙන්නෙත් ඔහුමයි.
“ජෝන් සීනා මේ වෙනකොට රෝගීවුණු දරුවන් 650කට අධික ප්රමාණයගේ ප්රාර්ථනා ඉටුකළ පුද්ගලයෙක්. ඒක ගිනස් වාර්තාවක්. මොකද ඒ කටයුත්තට දායකවෙලා තියෙන අය අතරෙන් දෙවැනියට ඉන්න කෙනා ප්රාර්ථනා දෙසීයක්වත් සම්පූර්ණ කරලා නෑ.”
දැන් ඔබ හිතනවා ඇති කොහොමද මේ ප්රාර්ථනා ඉටුකරන වැඩේ සිද්ධවෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒ පදනමේ සාමාජිකයින් අර රෝගී දරුවන් ළඟට ගිහින් ඔවුන්ගේ වැඩිම කැමැත්ත ඇති දේ ගැන විමසනවා. එතකොට ඒ අය මුණගැහෙන්න කැමතිම පුද්ගලයෙක් ගැන සඳහන් කළොත්, මේ ආයතනය විසින් ඒ පුද්ගලයාට ඒ පිළිබඳව දැනුම්දෙනවා. එවිට ඒ පුද්ගලයා කැමති නම් ඒ දරුවා බලන්න ඇවිත් ඔහු සමඟ රිසි දේවල් කරමින් රිසි සේ කාලය ගතකරන්න පුළුවන්. ඒ වගේම කැමති නම් දරුවාගේ ප්රතිකාර සඳහා මූල්යමය වශයෙන් දායක වෙන්නත් පුළුවන්. ඉතින් ‘Make A Wish Foundation’ එක සඳහන් කරන විදියට මෙතෙක් කාලයක් රෝගී දරුවන් වැඩිපුරම මුණගැහෙන්න කැමත්තෙන් සිටි පුද්ගලයා වෙලා තියෙන්නේ, වෙන කිසිවෙකුත් නෙවෙයි ජෝන් සීනා.
“ජෝන් සීනා අපිත් එක්ක එකතුවෙලා ප්රාර්ථනා ඉටුකරන්න ගත්තේ 2002 වසරේ ඉඳන්. ඔහුගේ රෙස්ලින් ආගමනය සිදුවුණෙත් ඒ වසරේ. ඉතින් එදා ඉඳන් අද දක්වා ඔහු අපිත් එක්ක කටයුතු කළා. කවදාවත්ම ඔහු දරුවෙක් කරපු ඉල්ලීමක් ප්රතික්ෂේප කළේ නෑ. ඔහුට තියෙන්නේ යකඩ වගේ මස්ගොබ පිරුණු ශරීරයක් උනාට ඔහුගේ හදවත හරි සෞම්ය එකක්. ඒ නිසාම මරණය පෙනි පෙනී ඉන්න දරුවන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි අවසාන මොහොතේ තමන්ගේ සිහින වීරයා දකින්න අවස්ථාවක් උදාවුණා.”
ඒ විදියට ජෝන් සීනා දකින්න කැමති වූ දරුවන් අතරත් වැඩිපුරම හිටියේ පිළිකා රෝගී දරුවන් බවයි පැවසෙන්නේ.
“ඒ දරුවෝ බලන්න සීනා ආවම ඔවුන්ට අසනීපය අමතක වෙනවා. ඒ අයට ඒ අවස්ථාව හරියට හීනයක් වගේ. ඒක ගොඩාක් හැඟීම්බර අවස්ථාවක්.”
එසේ පැමිණෙන ජෝන් සීනා ඒ දරුවන් සමඟ ඡායාරූප ගැනීම ඇතුළු ඔවුන් සතුටුවන අන්දමේ බොහෝ දේ සිදුකරනවා. ඔහු ඇතැම් අවස්ථාවල ඒ දරුවන් රෙස්ලින් වළල්ල තුළට රැගෙන ගිය අවස්ථා සහ ඔවුන්ව සතුටු කිරීමේ අදහසින් ඔවුන් සමඟ රෙස්ලින් වළල්ලේ තරඟ කර හිතාමතාම පරාජය වැළඳගත්ත අවස්ථාත් තිබුණා.
ඒ වගේම ඔහු පියයුරු පිළිකාවෙන් පීඩාවිඳින කාන්තාවන්ගේ ප්රතිකාර වෙනුවෙන් නිතර තම ධනය පරිත්යාග කළ කෙනෙක්. පියයුරු පිළිකාව ගැන දැනුවත් කිරීමේ අදහසින් ඔහු ඇතැම් අවස්ථාවල රෝස පැහැයෙන් සැරසී රෙස්ලින් වළල්ලට පැමිණි අවස්ථාත් තිබුණා.
වරක් ජෝන්සීනා රෙස්ලින් වළල්ල වෙත ‘Rise Above Hate’ යනුවෙන් දැක්වෙන ඇඳුමක් ඇඳ පැමිණියා. ඒ තුළින් ඔහු ලබාදුන් විශේෂ පණිවිඩය වුණේ මිනිසුන්ට හිරිහැර නොකර තරුවක් වෙන්න කියන එකයි. එසේම තවත් වරෙක ඔහු ‘Love has no Labels’ නමින් ව්යාපෘතියක් ආරම්භ කර ලොව සැමදෙනට ආදරය කළ යුතු බවට වන සුවිශේෂී පණිවිඩයක් මිනිසුන් අතරට රැගෙන යන්නටත් කටයුතු කළා. ඒ වගේම ඔහු රෙස්ලින් වළල්ල තුළදී සිය තේමා පාඨය ලෙස භාවිතා කළ ‘Never Give Up’ (කවදාවත් අතහැර දමන්න එපා) කියන පාඨයත් ලොව තරුණ තරුණියන් බොහෝ පිරිසක් තම ජීවිතයේ අභිප්රේරණයට හේතු කරගත් පාඨයක් බවත් රහසක් නෙවෙයි.
රුවන් එස්.සෙනවිරත්න

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button