
ජලයෙන් යටවීමට ගිය මහා උරුමය
(දෙව්නිමෝරි ධාතූන්වහන්සේලා)
වර්තමාන ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ‘ෂම්ලාජි’ අසල දෙව්නිමොරි (Devnimori) ගම්මානය අද වන විට බෞද්ධ ලෝකයේ සුවිශේෂී අවධානයට ලක්වී ඇත්තේ එතැනින් හමුවූ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශාරීරික ධාතූන් වහන්සේලා නිසා කියල මේක කියවන ඔබ දැනටමත් දන්නවා.
1957 අවුරුද්දෙදි එම ප්‍රදේශය හරහා ඉදිවූ වේල්ලක් හේතුවෙන් මේ ගම්මානය ජලයෙන් යටවීමට නියමිතව තිබුණා, මහාචාර්ය එස්.එන්. චෞද්රි ඇතුළු බරෝඩා හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ ( The Maharaja Sayajirao University of Baroda) පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එහි තිබූ පැරණි නටඹුන් හා පස්කන්ද විහාර සංකීර්ණයක් යැයි කළ නිවැරදි අනුමානයක් මත කැණීම් කරන්න පටන්අරං තියෙනවා.
මේ හන්දා අඩි ගණනාවක් පොළොවට යටවී තිබූ අවරුදු 1700 ක් පමණ පැරණි මහා ස්තූපයක් සහ විහාර සංකීර්ණයක් මතු කරගනිමින්, ජලයෙන් යටවී සදහටම වැළලී යාමට තිබූ මෙම මහා බෞද්ධ උරුමය බේරා ගැනීමට ඔවුන්ට පුලුවන් වෙනවා. ඒ ගැනනං අප ඔවුන්ට නොසෑහෙන්න පිං දෙන්න වටිනවා.
ඉතිං මේ කැණීමෙහි සුවිශේෂීම අවස්ථාව සනිටුහන් වුණේ 1963 වසරේ ජනවාරි 14 වනදා. එදා එම මහා ස්තූපයේ පාදමේ සිට අඩි 24ක් උසින් තිබී අද අපි දකින ධාතු කරඩුව හම්බවුණා. මෙම ශෛලමය කරඬුවෙහි කොටා තිබූ ශිලා ලිපිය ලෝකයම පුදුමයට පත් කළා කිව්වොත් වැරදි නැහැ. කොළ පැහැති ‘ෂිස්ට්’ (Green Schist) නම් ගලින් නිමවූ එම කරඬුවේ ක්ෂත්‍රප යුගයට අයත් බ්රාහ්මී අක්ෂරයෙන් සහ සංස්කෘත භාෂාවෙන් අන්තර්ගත වූ මූලික පාඨය මෙන්න මෙහෙමයි.
“දශබල ශරීර නිලයඃ ප්රශස්ත රම්‍යෝ මහා ස්තූපඃ. සංවත්සරේ සප්තවිංශත්‍යධිකේ ශතේ 127 කථිකානාං රාජ්ඤි ශ්‍රී රුද්‍රසේනේ…” යන්නයි.
මේ පාඨයේ මුලින්ම සදහන් වෙච්ච “දශබල ශරීර නිලයඃ” යන සංස්කෘත පාඨය සිංහලට ගත්තහම මෙන්න මෙහෙමයි එන්නේ
දශබල (Dashabala): බුදුහාමුදුරුවෝ
ශරීර (Sharira): ශාරීරික හෙවත් ශරීරයට අයත්.
නිලයඃ (Nilayaha): නිවහන, මන්දිරය, වාසස්ථානය හෙවත් තැන්පත් කර ඇති ස්ථානය.
දැන් මේ පදටික අපිට ගලපගන්න එච්චර අමාරු නෑනේ. එතකොට තේරුම මෙන්න මෙහෙම නේ (“දශබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා වැඩසිටින (තැන්පත් කර ඇති) මන්දිරය / නිවහනයි.”)
ඉතිං මේ කරඩු ලිපිය කියවපු විද්වතුන්ට තහවුරු වූයේ දශබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා නිදන් මෙහි නිදන් කරලා තියෙනවා කියන කාරණාවයි. අපි හොදටම දන්නවනේ බුදුහාමුදුරුවන්ට “දසබල,, කියලත් නමක් තියෙනව කියලා. අහල ඇතිනේ ඔය හාමුදුරුවරු බණ කියනකොට හෙම දසබලධාරී බුදුරජානන්වහන්සේ කියල හෙම කියන්නේ අන්න ඒ නම තමයි මෙම සංස්කෘත ලිපියේත් පාවිච්චි කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හදුන්වන්න.
මේ කරඩු ලිපියට අනුව එම ස්තූපය කරවා ඇත්තේ (Kathika) රජවරුන්ගේ පාලන සමයේ 127 වන වර්ෂයේදී, එනම් ශ්‍රී රුද්‍රසේන රජු පාලනය කළ සමයේය. භාද්‍රපද මාසයේ පස්වන දින මෙහි වැඩ අවසන් කර ඇති බව එම වැඩිදුර විස්තර කලා තියෙවා.
කැණීම් වලදී එම කරඬුව තුළ තිබී හමුවූ බටහිර ක්ෂත්‍රප (Western Satraps) පාලකයින්ට අයත් කාසි අතර ක්‍රි.ව. 305-313 කාලයට අයත් රුද්‍රසිංහ II රජුගේ කාසිද හමුවීම නිසා, මෙම ස්තූපය අවසාන වශයෙන් ක්‍රි.ව. 4 වන සියවසේදී (ක්‍රි.ව. 375 පමණ) නැවත ප්‍රතිසංස්කරණය කරලා තියනව කියල තමයි පුරාවිද්‍යාඥයෝ කියන්නේ.
හරියට මෙය ලංකාවේ කාලයෙත් එක්ක සංසන්දය නොකළොත් ලංකාවේ අයට තේරුම් ගන්න අමාරැයිනේ මේ කාලයේ ලංකාවේ රජ කළේ සිරිමේඝවන්න (කිත්සිරිමෙවන්) රජතුමා වෙන විදිහකට කිව්වොත් දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවපු කාලේදි තමයි මේ ස්තූපය හදලා තියෙන්නේ
දැනට ලංකාවේ පැවැත්වෙන ප්‍රදර්ශනයේදී සැදැහැවතුන්ට මෙම පූජනීය වස්තූන් ත්‍රිත්වයම දැකබලා ගත හැකිය. වන්දනා කරන්න යනකොට හොදට බලාගන්න අර වීදුරු පෙට්ටියේ තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේවා
1) ගල් කරඬුව: ඉහත ශිලා ලිපිය සහිත ප්‍රධාන ‘ෂිස්ට්’ ගල් කරඬුව. (පාදම අඟල් 6.8, උස අඟල් 2.9).
2) තඹ පෙට්ටිය: ගල් කරඬුව තුළ තිබූ රන් ආලේපිත රිදී-තඹ බෝතලය සහිත තඹ පෙට්ටිය. ඒ තඹ පෙට්ටිය තුළ තමයි ධාතූන් සහිත ඉතා කුඩා සිලින්ඩරකාර රිදී තඹ බෝතලය තිබිල තියෙන්නේ
3) වීදුරු බෝතලය: අතිශය සියුම් ධාතූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් වර්තමානයේදී, එම ධාතූන් සහ අර කුඩා රිදී සිලින්ඩරාකාර බෝතලය තැන්පත් කරලා තියෙන සුළං නොවදින (Airtight) වීදුරු බෝතලය. (මේක තමයි වීදුරු පෙට්ටිය මැද්දේම තියෙන්නේ)
ඔයින් දෙවැනි අංකයට කිව්ව තඹ පෙට්ටියේ තිබිලා තමයි ධාතූන්වහන්සේලා තැන්පත් සිල්න්ඩරාකාර චූටි රිදී බෝතලය සහ සේද රෙදි කැබැලි හමුවෙලා තියෙන්නේ. ඒ සියල්ලේ ආරක්ෂාව වෙනුවෙන්, සුළං නොවදින සේ (Airtight) තැන්පත් කළ විශේෂ වීදුරු බෝතලය තමයි තුන්වැනි අංකය කිව්වේ බලන්න යකකොට ඒක විශේෂයෙන් දැකබලාගන්න (මේ සියල්ල එකට ගත්ත ඡායාරූපයක් තමයි දෙව්නිමෝර් පුරාවිද්‍යා සයිට් එකෙන් අරං මම මේ පොස්ටුවට දාලා තියෙන්නේ )
ඔබ ධාතූන්වහන්සේලා වදින්න යනවනං තව කාරණාවක් අමතක කරන්න එපා , ගංගාරාම විහාරයේ ප්‍රදර්ශනයට තියල තියෙන වීදුරු පෙට්ටියේ දැවමය පාදමේ අර මුලින් කිව්ව විදිහට කරඩුවේ සටහන් වන “දශබල ශරීර නිලයඃ Dashabala Sharira Nilaya” කියන පාඨය රෝමන් අකුරෙන් ලියලා තියෙනවා ඒකත් බලාගෙනම එන්න.
වසර 1700 ක් තිස්සේ ස්තූපය තුළත් 60 දශකයේ සිට අඩසියවසක පමණ කාලයක් MSU විශ්වවිද්‍යාලයේත් සුරැකිව තිබූ මෙම ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ලැබීම ලාංකික බෞද්ධ ජනතාව ලැබූ මහඟු භාග්‍යයක්. එහෙම වුණාට එම විහාර සංකීර්ණය අද වනවිට වතුරෙන් යටවී තිබීම අපේ අභාග්‍යක්.
උපුටාගැනීමකි, මුල් හිමිකරුවන්ට බොහොම පිං. ලිපියේ මුල් හිමිකරු නොදනිමි.



