”සැමියාට ලොකු ඉවසීමක් තියෙනවා” – අසේකා විජේවර්ධන

”සැමියාට ලොකු ඉවසීමක් තියෙනවා” – අසේකා විජේවර්ධන

චන්න විජේවර්ධනයන්ගේ සංකල්පයකට අනුව ඔහු විසින් නර්තන වින්‍යාසය සිදුකරමින් අධ්‍යක්ෂණය කරන ලද ‘සඳකඩ සංසාර චක්‍රය’ මුද්‍රා නිර්මාණය ඇසුරින් විශ්ව බාලසූරිය විසින් අධ්‍යක්ෂණය කළ ‘සඳකඩ’ සිනමා නිර්මාණයේ විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ ගෝල්ෆේස් හි පිහිටි පී. වී. ආර්. සිනමා සංකීර්ණයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන භූමිකාව සිදුකරනුයේ චන්න විජේවර්ධනයන්ගේ දියණිය වන අසේකා විජේවර්ධනයන් විසිනි. ඉතිං මේ කතාබහ අසේකා සමගය.

අසේකා මුලින්ම කතා කළොත් මොකක්ද මේ ‘සඳකඩ’ කියන්නේ?

ඇත්තටම ලංකාවේ පළමුවැනි වතාවට තමයි මුද්‍රා නාට්‍යයක් සිනමා පටයකට නැගෙන්නේ. ඉතිං අපි ‘සඳකඩ සංසාර චක්‍රය’ කියලා මුද්‍රා නාට්‍යයක් නිර්මාණය කරලා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 22,23 දිනවලදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ප්‍රදර්ශනය කළා. ඉතිං අපිට ඒක සිනමා නිර්මාණයකට පෙරළන්න අදහසක් තිබුණ හින්දා කලින්ම විශ්වා බාලසූරිය මේ වැඩේට සම්බන්ධ කරගෙන එය සිනමා නිර්මාණයකට ගොඩනැගුවා ‘සඳකඩ’ කියලා. ඒ ‘සඳකඩ’ කියන සිනමා නිර්මාණය පසුගිය අඟහරුවාදා තාත්තාගේ උපන්දිනය නිමිත්තෙන් එළිදැක්වූවා.

May be an image of 1 person

මෙය කාගේ අදහසක්ද?

ඇත්තටම මේක තාත්තාගේ හිතේ තිබුණ අදහසක් සහ සංකල්පයක්. ඉතිං අපි හිතුවා තාත්තාගේ උපන්දිනය තියෙන දවසේ එයාට මොකක් හරි කරන්න ඕනෑ කියලා. ඒ නිසාම අපි මේ වැඩේම කරමු කියන අදහසේ හිටියා. මොකද අපි මේ වෙනුවෙන් ගොඩක් කැපවුණා, මහන්සි වුණා, කාලය ගත්තා. මේක හරිම ගැඹුරු සංකල්පයක් තියෙන එකක්නේ.

මෙවැනි සංකල්පයක් සිනමාවට නැගීමේදී ඒක ලොකු අභියෝගයක් නේද?

ඔව්. ඇත්තටම ලොකු අභියෝගයක්. අපි දැන් මුද්‍රා නාට්‍යයක් නිර්මාණය කරනකොට එක දිගට නර්තනයේ යෙදිලා සජීවීව පෙන්වනවානේ. ඒ වුණාට අපි මේක සිනමා පටයකට ගොඩනගනකොට ඒක ලොකු අභියෝගයක් වුණා. මේ මුද්‍රා නාට්‍ය සිදු කළේ නර්තන ශිල්පීන් සියයක් සමග. ඒ සියලුදෙනාටම තම තමන්ගේ චරිත වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් සිදුකරන්න සිද්ධ වුණා. මොකද ඒක හුරු නැති දෙයක්නේ. නමුත් හැමෝම හරි ආසාවෙන් කරපු නිර්මාණයක්.

May be an image of 2 people and batik-print clothing

චන්න, උපුලී රංගායතනයේ සිසු සිසුවියන් විතරද මේ වැඩේට එකතු වුණේ?

ඔව්. තාත්තා වැඩේ පටන්ගන්න කොට හිටපු වින්ද්‍යා අක්කලාගේ ඉඳලා සියලුමදෙනා මේ සඳහා දායකත්වය ලබාදුන්නා. ඔවුන් දැන් නර්තනයේ යෙදෙන්නේ නැහැ. හැබැයි ඔවුන් ඔක්කොම මේ වෙනුවෙන් නර්තනයේ යෙදුණා. ඇත්තටම මේක ලොකු නිෂ්පාදනයක්. අනිත් එක මගේ සීයා පණීභාරතයන්ගේ සංකල්පයක් තමයි සඳකඩපහණ උඩ නැටුමක් කරන්න ඕනෑ කියන කාරණාව. ඒක නව නිර්මාණයක් විදිහට හරවලා කතා සංකල්පයක් ගොඩනඟලා තාත්තා මේ වැඩේ නිර්මාණය කළා.

සඳකඩ හි තාරා ගැනත් කතා කළොත් ?

තාරාගේ චරිතයට අවතීර්ණ වෙන්නත් සෑහෙන කාලයක් ගියා. මට ඒ චරිතයට අවතීර්ණ වෙනවාට වැඩිය ඒකෙන් එළියට එන්න ලොකු කාලයක් ගියා. මොකද මම තාරා සමග සෑහෙන ජීවත්වුණා. තාරාගේ චරිතයට මම හරි ආසා කළා. මොකද ඒ වගේ ජීවිතයක් ගතකරන්න පුළුවන් නම් තව තවත් සුන්දර වේවි, සරල වේවි කියලා හිතෙනවා. තාරා කියන්නේ අත්හැරීම සහ අනිත්‍ය කියන කාරණාව ප්‍රගුණ කරපු චරිතයක්. ඒ වෙනුවෙන් සෑහෙන ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. දැන් ඉතිං අපේ ජීවිත කසාද බැඳලා එහෙම වෙනස් වෙලානේ තියෙන්නේ. ඒ නිදහසත් මට මගේ පවුල් ජීවිතයෙන් හම්බවුණ හින්දා මට මේ චරිතය සෑහෙන ලේසි වුණා.

නර්තන වැඩ කටයුතු එහෙම කොහොමද?

මේ දවස්වල පොඩ්ඩක් විතර කාර්යබහුලයි. මොකද හැම අවුරුද්දම අවසානයේ අපි රිදී රැයක් පවත්වනවා. රිදී රැයක් සමග සම්බන්ධවෙලා ඉන්න හින්දා චුට්ටක් කාර්යබහුලයි.

May be an image of 5 people and text

තාත්තා හින්දා දුවට ලැබුණු වටිනාකම මොනවගේද දැනුණේ?

ඒක මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මම හිතන්නේ මේ වගේ දෙමාපියන් ලබන්න සෑහෙන ලොකු පිනක් කරලා ඇති. හරිම සතුටුයි වගේම ඔවුන් ගැන හරිම ආඩම්බරයි.

තාත්තාගේ දේවල් භාරගෙන ඉදිරියට අරගෙන යෑම ලොකු අභියෝගයක් නේද?.

ඒකට කොහොමද සූදානම?

අනිවාර්යයෙන්ම ලොකු අභියෝගයක්. දැන් හරිම තරගකාරී ලෝකයක අපි ජීවත් වෙන්නේ. අනිත් එක දැන් මේ ක්‍ෂේත්‍රය ඉස්සර කාලෙ වගේ නෙමෙයි. ගොඩක් අය ඉන්නවා. රංගන ශිල්පීන් සිය ගණන් ඉන්නවා. ඒවාත් එක්ක මේක පවත්වාගෙන ඉදිරියට යෑම ගොඩක් අමාරුයි. ඒක ලොකු අභියෝගයක්. මම හිතනවා අම්මයි තාත්තයි හැමදාම කරපු දේ හරි වෙනස්. ඒ වෙනසට මිනිස්සු කැමැති වුණා. ඉන් එහාටත් ඒ වෙනස ඇති කරන්නයි සූදානම.

No photo description available.

නර්තන වැඩවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය?

ලොකු සහයෝගයක් ලැබෙනවා. ජනිත්ගේ පවුලේ හැමෝම ව්‍යාපාරිකයෝ. ජනිතුත් ව්‍යාපාරිකයෙක්. ජනිත් අපි වැඩකරන ක්‍ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක ඉන්නවා. මොකද අපි වැඩකරන වෙලාව ඉවර කරන වෙලාව ගැන කියන්න බැහැ. ඔහුට ලොකු ඉවසීමක් තියෙනවා. මට උපරිම මානසික නිදහසක් ලබාදීලා තියෙනවා.

පුංචි කාලේ ඉඳලාම ගෙදර නර්තනය දුටුව නිසාද මේ විෂයයම තෝරාගත්තේ?

පොඩි කාලේ ඉඳලාම නර්තනය කරන්න එච්චර වුවමනාවක් තිබ්බේ නැහැ. වෙන වෙන දේවල් කරන්න තමයි මට ලොකු වුවමනාවක් තිබ්බේ. එක කාලයක ගුරුවරියක් වෙන්න ඕනෑ වුණා. එක කාලයක රංගන ශිල්පිනියක් වෙන්න ඕනෑ වුණා. ගොඩක් දේවල් තිබ්බා, හැබැයි අන්තිමට කොහොම හරි මේ වැටිච්ච තැන අනුව මට ඒ හැම භූමිකාවක්ම කරන්න පුළුවන් වෙලා තියෙනවා. මට ඒ ගැන සතුටුයි. ඇත්තටම මට වෙන වෘත්තියක් කරනවා කියලා හිතාගන්නවත් බැහැ. මට මගේ වෘත්තිය ගැන හරිම සතුටුයි.

No photo description available.

අම්මා, තාත්තා නළු නිළියන් සමග වැඩකරන නිසාම රඟපාන්න ආරාධනා ලැබිලා නැතිද?

ලැබිලා තියෙනවා. අපිට සුදුසු දේ අපි තෝරාගන්න ඕනෑ. මගේ වෘත්තියට ගැළපෙන විදිහේ සුදුසු නිර්මාණයක් ආවොත් ඉදිරියේ දී භාරගන්න ඉඩ තියෙනවා. හැබැයි දැනට එහෙම ආරාධනා ලැබිලා තියෙන කිසිම නිර්මාණයකට මට සහයෝගය දක්වන්න බැරිවුණා.

ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

හරිම සතුටුයි. මම හැමදාමත් උත්සාහ කළේ පසුතැවීම් නැතිව ජීවත්වෙන්න. ඉතිං ජීවිතය ගැන කිසිම පසුතැවීමක් නැහැ. වැරැදීම්වලිනුත් අපි හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා. හරි ගිය තැන් එහෙමයි. කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන්නේ නැහැ. හරිම සතුටුයි. මම හිතනවා ඉදිරියටත් මෙහෙම සුන්දරව ජීවිතය ගතකරන්න පුළුවන් වේවි කියලා.

No photo description available.

No photo description available.No photo description available.

දිනේෂ් විතාන

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *