
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය යුනික් විව් කොටසේ අක්කර 5ක පුද්ගලික ඉඩමක් කිසිදු අවසරයකින් තොරව ඉඩම් කැබලි කර අලෙවි කිරිමට පිරිසක් කටයුතු කරමින් සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති සහ නුවරඑලිය මහ නගර සභාවේ හිටපු සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පැවසීය.
දිට්වා සුලි කුණාටුව පැවති සමයේ කදු මුදුණේ කොටසක් නාය ගිය බවත්, එම නායයෑමෙන් පසු පර්චස් 8 සහ 9 බැගින් කොටස් වශයෙන් ඉඩම් කැබලි 68කට කොටස් කර එම ඉඩම් කැබලි නිවාස ඉදි කිරිම සදහා අලෙවි කිරිම සදහා මේ දිනවල බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ඉඩමේ පිහිටි තේ ගස් ගලවා ඉඩම කොටස් කරන බවයි මහින්ද දොඩම්පගමගේ මහතා කියා සිටියේ.
අධිකරණ ක්‍රියාදාමයක් හරහා නුවරඑලිය ප්‍රදේශයේ නිවාස ඉදිකිරිම් සමිතියක් විසින් අක්කර 5කින් යුතු එම යුනික් විව් ඉඩමේ අයිතිය ලබා ගත් බවත්, හරිත සහ ජල පෝෂක කලාපයක පිහිටි එම ඉඩම ආසන්නයෙන්ම නුවරඑලිය මහ නගර සභා සීමාවට අවශ්‍ය ජලය ලබා ගන්නේද එම ඉඩමෙන් බවයි මහින්ද දොඩම්පගමගේ මහතා කියා සිටියේ.
තවද එම ඉඩම හරහා විශාල දෝණාවක් තිබෙන බවත්, එම දෝණාව හරහා නුවරඑලිය නගරයට ජලය රැගෙන යැමේ ව්‍යාපෘතියක් පවා ආරම්භ කිරිමට අනුමැතිය ලබා ගෙන ඇති බවත්, නුවරඑලිය මහ නගර සභාවෙන් අනු බෙදුම් සැලැස්ම පවා අනුමත නොකර ගෙන එම ඉඩම කැබලි කර අලෙවි කිරිමේ ව්‍යාපෘතිය එම ඉඩමේ අයිතිකරු විසින් සිදු කරගෙන යන බවයි පැවසෙන්නේ.
යුනික් විව් ඉඩමේ නිවාස යෝජනා ක්‍රමයකට සුදුසු නොවන ඉඩමක් බවට 2005 වසරේ ජාතික ගොඩනැගිලි පරියේෂණ ආයතනය මගින් පවා නිර්දේශ කර තිබියදී මේ වන විටත් ඉඩම් කැබලි කිහිපයක් අලෙවි කිරිම සදහා සුදානම් කර ඇති බවද මහින්ද දොඩම්පගමගේ මහතා වැඩි ුදරටත් පැවසීය.
අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය මහ නගරසභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ අනුමැතියක් නොමැතිව එම ඉඩමේ කිසිදු කාර්යක් සිදු නොකර ලෙසට එම ඉඩමේ අයිතිකරුට දැනුම් දී ඇති බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නුවරඑලිය දිස්ත්‍රික් අධ්‍යක්ෂක බුද්ධික විජේකෝන් මහතාගෙන් අප කල විමසුමකට ඔහුද කියා සිටියේ එම ඉඩම කැබලි කර අලෙවි කිරිමේ ව්‍යාපෘතිය සිදු කරගෙන යෑමට එම ඉඩමේ අයිතිකරු විසින් මේ වන තෙක් කිසිදු අයදුම්පතක් ඉදිරිපත් කර නොමැති බවයි.
අප මේ සම්බන්ධයෙන් එම ඉඩමේ අයිත්කරුගෙන් කරුණු විමසීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළත් එය ව්‍යර්ථ විය.
රංජිත් රාජපක්ෂ



