සයුරෙන් එහා පුවත්

ඉදිරි පැය 24,36ක කාලය අවදානම්.. විරසක වූ ඉන්දියාව සහ පකිස්තානය ගැන ඇසෙන අලුත්ම පුවත මෙන්න.

ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමින්ය.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවය.

එමෙන්ම ඕනෑම වියදමක් දරා පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ජාතිය සිය අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බව පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා වැඩිදුරටත් පැවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික මතභේද මේ වනවිට අවි ගැටුමක් දක්වා තීව්‍ර වී තිබේ.

ඊට හේතුවූයේ පසුගිය අඟහරුවාදා ඉන්දීය ජම්මු කාෂ්මීරයේ පෙහෙල්ගාම්හී සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයයි.

නේපාල ජාතිකයෙකු ද ඇතුළුව 26 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිසෙන් බහුතරය දේශිය සංචාරකයින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

කාෂ්මීරයේ ක්‍රියාත්මක ප්‍රතිරෝධී පෙරමුණ නම් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගත්තත් එය පාකිස්තානයේ සන්නද්ධ සංවිධානවලට සෘජුව සම්බන්ධ බවට ඉන්දීය රජය චෝදනා කළේය.

මේ වන විට ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාට ප්‍රතිචාර දැක්වීමට ගෙන ඇති පියවර හේතුවෙන් මතුව ඇත්තේ දැඩි අර්බුදකාරී තත්ත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!