වෙළෙඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනයට රජය අවසර ලබා දී තිබූ කාල සීමාව අද (ජනවාරි 10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත ය.
මෙම අවසරය නැවත දීර්ඝ කිරීමක් සිදු නොකරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ ය.
වත්මන් රජය පත්වූ පසුව මුහුණ දීමට සිදුවූ ප්‍රධානතම අභියෝගයක් වූයේ, සහල් හිඟය යි.
අලුත් අවුරුදු උත්සව සමයට පෙර මෙම අර්බුදය සමනය කිරීමට රජයට සිදුව ඇති අතර, ඒ සඳහා රජය 2024 නොවැම්බර් මාසයේ සිට ම විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.
රටේ ඇතිව තිබෙන සහල් හිඟය මෙන් ම මිල ඉහළ යාම පාලනයට රජය මෙතෙක් ගෙන ඇති මෙම පියවර ගැන ඔබ දැනුවත් ද?
‘සහල් මෙට්‍රික් ටොන් 160,000ක් ගෙනාවා’
2025 ජනවාරි 09 දක්වා සහල් මෙට්‍රික් ටොන් 160,000ක් ආනයනය කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ය.
“ඊයේ [ජන. 09] දක්වා සහල් මෙට්‍රික් ටොන් 160,000ක් ආනයනය කරලා තියෙනවා. ඒ නිසා ප්‍රමාණවත් සහල් මාර්කට් එකේ තියෙනවා, ආනයනික සහල්වලත් මිල අඩු වෙලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.
මේ නිසා සහල් ආනයන අවසරය දීර්ඝ නොකරන බව ඔහු කියා සිටියේ ය.
රජයේ ටෙන්ඩර්වලට මොකද වුණේ?
සහල් ආනයනයට රජය විසින් සතොස හරහා යොමු කරන ලද ටෙන්ඩර් ප්‍රතික්ෂේප වූ බවට පාර්ලිමේන්තුවේදී අදහස් පළ වූ අතර, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ටෙන්ඩර් දෙකක් පමණක් ප්‍රතික්ෂේප වූ බව ය.
“සතොසේ ටෙන්ඩර් දෙකක් රිජෙක්ට්. අනිත් ඒවා ආවා. මම හිතන්නේ STC එකෙන් මෙට්‍රික් ටොන් 20,800ක එකක් එන්න තියෙනවා,” ඔහු පැවසුවේ ය.
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා මෙතෙක් සහල් කොපමණ ආනයනය කර තිබේ දැයි එහිදී අමාත්‍යවරයාගෙන් විමසීමක් සිදු කරන ලදී.
“STC එකෙන් සහල් මෙට්‍රික් ටොන් 5,200ක් ගෙන්වලා තියෙනවා. මේ සතියේ මෙට්‍රික් ටොන් 20,800 ගේන එකට LC දීලා ඉවර යි,” අමාත්‍යවරයා පවසයි.
තවදුරටත් සහල් ආනයනය කිරීමක් සිදු කරන්නේ වෙළඳපොළේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
එසේ සහල් ගෙන්වීමක් සිදුවන්නේ නම් නැවත රජය විසින් කැබිනට් අවසරක් ලබා ගත යුතු ද? යනුවෙන් කළ විමසීමකට වසන්ත සමරසිංහ ඇමතිවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
“ඉස්සරහට මහා කන්නයේ අස්වැන්න එනවා. රජයෙන් වී මිල දී ගැනීමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හිඟයක් එන එකක් නෑ. රජයෙන් සහල් ගෙන්වන්න නැවත අවසර ගැනීමක් කරන්න අවශ්‍ය නෑ.
පෞද්ගලික අංශයට තමයි එක බලපාන්නේ.”
රටේ පවතින සහල් අර්බුදය විසඳීමට මැදිහත් වීමක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් ව්‍යාපාරිකයන් අතර සාකච්ඡාවක් 2024 ඔක්තෝබර් 22 වන දා පැවැත්විණි.
සහල් මිල පාලනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිල දී ගැනීමට මෙන් ම සහ සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට සහල් ලබා දීමට විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.
සහල් ව්‍යාපාරිකයින් හමුවූ දිනට පසු දා ත්‍රිකුණාමලයේ පැවති ජනහමුවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ, රටේ කෘත්‍රිම සහල් හිඟයක් නිර්මාණය කර ඇති බව ය.
නත්තල් වෙද්දි හාල් මිල අහස උසට යයි ද?
“රටේ සහල් හිඟයක් නැහැ. මේ හදන්නේ කෘත්‍රිම හාල් හිඟයක්. අපි ඒ අයට දැනුම් දුන්නා, මෝල් හිමියන් අවබෝධයෙන් වැඩ කරනවා ද? නීතියට වැඩ කරනවා ද? අපේ පළමු කැමැත්ත අවබෝධයෙන් වැඩ කිරීම. හැබැයි කවුරු හරි කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්න ලෑස්තියි කියලා කිව්වා. රටේ හාල් හිඟයක් නැහැ කඩේ හාල් හිඟයක් තිබුණට. රටේ හාල් හිඟයක් නැහැ හරි පැහැදිලියි. ඒ නිසා පිටරටින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් ඇර වෙන එක හාල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ”
සහල් අර්බුදයට විසඳුම් ලබා දීමට නැවත වරක් මැදිහත් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක,
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දුන්නේ ය
නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට ගත් තීරණය
හාල් ආනයනය නොකරන බවට වත්මන් රජය දුන් මැතිවරණ පොරොන්දු ද උල්ලංඝණය කරමින්, සහල් ආනයනය කිරීමට තීරණය කරන ලැබුවේ ද සහල් අර්බුදයට එක් විසඳුමක් ලෙස යි.
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදී ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ය.
“මේ සහල් හිඟය ඇති කිරීම පිටුපස තියෙන්නේ මිල ඉහළ යැවීම හරහා අමතර ලාභ ඉපයීමේ උපාය සහ උපක්‍රම නම්, තවදුරටත් පාරිභෝගිකයා පීඩාවට පත් කිරීම සඳහා එවැනි උපක්‍රම යෙදවීමට ඉඩ දීලා රජයට බලාගෙන ඉන්න බැහැ,” යනුවෙන් සහල් ආනයනය කිරීමට ගත් තීරණය දැනුම් දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.
නව රජයේ පළමු කැබිනට් හමුවේදී ම සහල් ආනයනයට තීරණය කළේ ඇයි?
පළමු තොගය මේ සතියේ වෙළඳපොළට
සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් ආනයනයට පවතින සීමා තාවකාලිකව ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ ය.
එම තීරණය අනුව 2024 වසරේ දෙසැම්බර් 20 වන දා දක්වා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් තොරව මෙරටට සහල් ගෙන්වීමට රජය අවසර දුන්නේ ය.
පසුව එම කාලය 2025 ජනවාරි 10 දක්වා දීර්ඝ කෙරිණි.
එසේ සීමා ලිහිල් කිරීමෙන් පසුව ආනයනය කරනු ලබන සහල්වල පළමු තොගය මේ සතිය වන විට වෙළෙඳපොළට ලැබෙනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
“සමහර තූත්තුකුඩියේ ඉඳලා හාල් පටවපු නැව් ලංකාවට ඇවිල්ලා කියලා කතාවක් තියෙනවා. කස්ටම් එකෙන් ක්ලියර් කරපුවා ම මේ සතිය ඇතුළත ඒ ටික එනවා වෙළඳපොළට.”
ජනපති මැදිහත් වෙයි
සහල් අර්බුදයට විසඳුම් ලබා දීමට නැවත වරක් මැදිහත් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දුන්නේ ය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ 2024 දෙසැම්බර් 07 වැනි දා පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත.
ඉදිරි දින දහය තුළ ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබේ.
‘සිල්ලර මුදලාලිලාට දඩ ගැහුවට ලොකු මෝල් හිමියන්ට දඩ ගහන්න නීතියක් නෑ’
“කිසිදු ව්‍යාපාරයක් වට්ටන්න හරි, කිසිදු ව්‍යාපාරයක් අඩපණ කරන්න හරි අපේ අදහසක් නැහැ. මම හිතන්නේ තොග මිල 225යි, සිල්ලර මිල 230 යි. හොඳට මතක තියාගන්න ජනතාවගේ මතය තියෙන්නේ ඕගොල්ලන් එක්ක නෙමෙයි. ජනතාවගේ මතය තියෙන්නේ ඕගොල්ලන්ට විරුද්ධව. අපට ජනතාවගෙන් අවශ්‍ය නම් ජනතාවගේ අනුමැතිය සහිතව මීළඟ පියවරට යන්න පුළුවන්. පාරිභෝගික අධිකාරියේ නිලධාරින් හැම මෝලකට ම දානවා හෙට ඉඳන්. මෝලෙන් එළියට යන හාල් ප්‍රමාණය පාරිභෝගික නිලධාරින්ට වාර්තා කරන්න ඕනේ. අපි සතියක්, දින දහයක් බලාගෙන ඉන්නම් මේක ක්‍රියාත්මක වෙනවාද කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති නම් ඊළඟ පියවර ගන්නවා.” යි ජනාධිපතිවරයා අනතුරු හැඟවීය.
ජනාධිපතිවරයා සහල් සඳහා නියම කළ තොග සහ සිල්ලර මිල
නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.
කෙසේ වෙතත් මීට අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් 09 වැනිදා දහවල් වන විටත් නිකුත් කළ බවක් දැනගන්නට නැත.
මෝල්වලින් සහල් නිකුත් කරන්නේ නැද්ද?
නව පාලන මිල යටතේ සහල් අලෙවි කරන බව තොග සහ සිල්ලර එක්සත් වෙළඳ සංගමයේ සභාපති ප්‍රියන්ත ලියනගේ බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
“දැන් ආරංචියේ හැටියට මේගොල්ලෝ කිසි කෙනෙක් හාල් නිකුත් කරන්නේ නැහැ කියලා තමයි තියෙන්නේ. මට පේන්නේ තාම කිසි ම මෝලකින් නිකුත් කරන්නේ නැහැ අලුත් මිලට.”
2024 දෙසැම්බර් 09 වන දින වන විට මෙතෙක් සහල් මෝල්වලින් සහල් නිකුත් කළ බවක් දැනගන්නට නොමැති බව ඒ පිළිබඳව කරුණු සොයමින් සිටින අතර බීබීසි සිංහල සේවයේ විමසීමට පිළිතුරු දෙමින් ප්‍රියන්ත ලියනගේ පැවසීය.
BBC ඇසුරෙනි..