35කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙන පුෂ්පා රම්‍යාණි සොයිසා මේ වන විට දේශකවරියක් මෙන්ම සමාජ සේවා නිලධාරිනියක් ලෙස කටයුතු කරනවා.
ඇය සිදු කළ සංවාදයක මෙසේ අදහස් දක්වා සිටියා…
ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිනිය වන ඔබ වසර තිස්පහකට අධික කාලයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. ඔබ අද කරන්නේ මොකක්ද?
අද මම විවිධ මාධ්‍යයන් ඔස්සේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සිටිනවා. මොකද ඔවුන්ට ඒ හැටි දැනුමක් අවබෝධයක් නැහැ. අද සමාජ සේවා නිලධාරිනියක් ලෙස ඒ කරන සේවය ගැන මම හරි තෘප්තිමත්.
ජනතාව වෙනුවෙන් ඔබ කළ ඒ සේවයට ඔබ විවිධ රටවල්වල සම්මාන රැසකට පාත්‍ර වුණු හෙද නිලධාරිනියක්. පසුගියදා ඔබ තවත් සුවිශේෂී ලෝක සම්මානයකට පාත්‍ර වුණා. ඒ ගැන කතා කළොත්..
ලෝකයේ රටවල් 52 ක නියෝජිතයන් පිරිසක් සහභාගීත්වයෙන් ඉකුත් 28 වෙනිදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ට්‍රැවිස් හෝටලයේදී තමයි මේ සම්මාන උළෙල පැවැත්වූනේ.මෙහිදී මට ( King Sany Wijaya International Award ) සම්මානය හිමිවුණා.
ඉන්දුනීසියාවේ සැනී විජය රජතුමාගේ 95 වැනි උපන් දින උත්සවයට සමගාමීව තමයිසම්මාන උළෙල පැවැත්වුණේ. මීට ලෝකයේ ආරාධිත රාජතාන්ත්‍රිකයන් 2,500 කට අධික පිරිසක් එක් ව සිටියා.
මේ හැම දෙයක්ම ඔබ කරපු කැපකිරීම් වල ප්‍රතිපල. මේ නිසා ඔබට පෞද්ගලික ජීවිතේ ඇතැම් දේවල් නැතිවෙලා තියෙනවද?
මම අවිවාහකයි. විශේෂයෙන් මම මේ ක්ෂේත්රයේ රාජකාරී කළේ ත්‍රස්තවාදය දරුණුව පැවැති සමයක.එක දිගට වැඩකරලා ශාරීරිකව දැනෙන වෙහෙස විස්තර කරන්න බැරි තරම්. ඒත් ඒ අවධියේ උදෙන්ම නැගිටලා අම්මගෙ කෑම බීම හදලා, එයාට කවලා, පොවලා, නාවලා තමයි මම රාජකාරියට ගියේ. දවල්ට අක්කා බලාගත්තා. අම්මා නැති වෙනකොට එයාට අවුරුදු 84යි. මම ඒ හැමදේම සතුටින් කළේ.
ඔබට විවාහය මඟහැරුණෙ ඇයි? ඒ ගැන උනන්දුවක් තිබුණෙ නැද්ද?
මාව විවාහ කරගන්න කැමති වුණු දෙතුන් දෙනෙක් හිටියා. ඒත් වෘත්තියටම කැපවෙලා වැඩ කරපු නිසා ඒ අදහස අත් ඇරුණා.
අම්මගෙන් ඔබට බලපෑමක් ආවෙ නැද්ද විවාහ වෙන්න කියලා?
තිබුණා. අම්මට තිබුණ ලොකුම ප්රශ්නය තමයි මගේ විවාහය. රෑ දවල් ඒ ගැන හිත හිතා හිටියෙ.
ඔබ හෙදියක් වෙන්න හිතුවෙ ඇයි?
ඇත්තටම මගේ එක අක්කා කෙනෙක් හෙදියක්. එයා තමයි මට හොරෙන් ඉල්ලුම්පත්‍රයක් දාලා මාව මේ වෘත්තියට යොමු කළේ. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වුණාට මට සරසවි යන්න බැරිවුණා. අයියා ඉංජිනේරුවෙක්, ලොකු අක්කා උපාධි ගුරුවරියක්, අනිත් අක්කා හෙදියක් නිසා අම්මට ඕන වුණා මාව වෛද්‍යවරියක් කරන්න. විශේෂයෙන්ම මගේ තාත්තා වෙද මහත්මයෙක් නිසා. හෙදියක් වෙලා හිටිය මුල් කාලෙ මම මේක දාලා යන්න හැදුවා කීපසැරයක්ම. ලෙඩ්ඩු දැකලා මට ඔලුව කැක්කුම හැදුණා. ලෙඩ්ඩු අඬනකොට මාත් අඬනවා. මම කලන්තෙ දාලා වැටෙනවා. කතන්දර ගොඩයි. මට ඉස්පිරිතාලෙ ජීවිතය දරාගන්න බැරිවුණා. ලෙඩ්ඩු මැරෙනකොට මට හරි දුකයි. ගෙදර ඇවිත් ඒ ගැන හිතලා වරු ගණන් අඬනවා. ඒත් දෛවය වෙනස් කරන්න බැහැනෙ. ඒ නිසා මට මේකෙම රුඳිලා ඉන්න සිද්ධ වුණා. මම ටිකෙන් ටික ප්‍රසිද්ධ වුණා. මට වැඩ කරන්න හරි ආසයි. මම ලෙඩ්ඩුන්ට ආදරෙන් කතා කළා. රුකබලා ගත්තා. මගේ මහජන සම්බන්ධතා කටයුතුවල නිපුණතාවය නිසා මට මේ තනතුර ලැබුණා. ඒත් සමහර තැන්වල කැපිලි ගොඩකුත් ආවා. මාව මරන්න හැදුවා, කපන්න හැදුවා, වස දෙන්න හැදුවා, පෙත්සම් ගැහුවා. එක එක දේවල්වලට කොටු කරන්න හැදුවා. ඒත් මගේ ගමන මම නිශ්ශබ්දව ආවා. සොබාදහම මට විරුද්ධ වුණු අයට ප්‍රතිචාර දැක්වූවා.
පෞද්ගලික ජීවිතේ ඔබට පසුතැවෙන්න හේතුවක් නැද්ද?
පෞද්ගලික ජීවිතේ මට නැතිවුණේ විවාහය විතරනෙ. අනිත් හැමදේම ලැබුණා. පවුලෙ ආදරය නොඅඩුවම ලැබුණා. මට හිතෙන්නෙ සතුට තියෙන්නෙ ඒ ආදරය ඇතුළෙ. මම ලෙඩඩුන්ට අවශ්‍ය කිහිලිකරු, රෝද පුටු විශාල ප්‍රමාණයක් මගේ පිටරට ඉන්න හිතවතුන් සහ අපේ රට තුළ ඉන්න යාළුවො හරහා ලබාදීලා තියෙනවා. ඒකේ සතුටත් මට. මම කවදහරි නැතිවුණ දවසක මගේ අවසන් කටයුතු කළයුතු ආකාරය මගේ ඥාති දියණියකට කියලා තියෙන්නෙ. මම කියලා තියෙන්නෙ උත්සව මොකුත් තියන්න එපා. පාංශු කූලය දීලා කිසිම කෙනෙකුට නොකියා කෙළින්ම අස් කරන්න කියලා.
Copieed