අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් ආරක්ෂා වීමටත් ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා වීමටත් පිරිමි පාර්ශවය උපත් පාලන කොපු (Condom) භාවිත කරන බව කිසිවකුට රහසක් නෙවෙයි. ඒත් කාන්තා උපත් පාලන කොපු (Female Condom) යන්න තවමත් අපට එතරම් හුරු පුරුදු දෙයක් නෙවෙයි. ටිකක් අවුල් ගියා නේද? ඔයා කාන්තාවක් නම් පිස්සුවක් කියල හිතෙයි අනිවාර්යයෙන්ම.
ඔව් තවමත් පිරිමි කොන්ඩම් පවා භයානක මාතෘකාවක් වන අපේ වගේ සමාජයකට කාන්තා කොන්ඩම් පිළිබඳ හිතන එක එතරම් ලේසි දෙයක් නෙවෙයි. නමුත් ඒවාගෙන් අපට ලැබෙන ප්‍රයෝජන ගැන සලකන විට මුළුගැන්වීම කොයිතරම් අපරාදයක් ද කියල ඔයාටම හිතෙයි.
පිරිමි, තමන්ගේ ලිංගික අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේදී බොහෝ විට කොන්ඩම් වැනි කෘතිම ආරක්ෂණ ක්‍රම භාවිත කිරීමට කැමැත්තක් දක්වන්නෙ නැහැ. එහෙම අවස්ථාවක කාන්තාවකටත් අනවශ්‍ය ගැබ්ගැනීමකින් පිළිබඳ අනියත බියකින් වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන බියකින් තොරව ලිංගිකව එක් වීමට අයිතිය තියෙනවා. අන්න ඒ අයිතිය ආරක්ෂා කර ගැනීමට තමයි ගැහැණු කොන්ඩම් පැළඳීම අවශ්‍ය වන්නේ.
කාන්තා කොන්ඩම් යනු මොනවාද?
ඒවා වෙනත් ආකාරයකින් අභ්‍යන්තර උපත් පාලන කොපු (Internal Condom) හෝ FC2 Female Condom යන වෙළඳ නාමයෙන් හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් පිරිමි කොන්ඩම් පිටතින් බාහිරව පළඳින අතර කාන්තා කොන්ඩම් යෝනි මාර්ගය තුළට පළඳින නිසාම කාන්තා කොන්ඩම් සමහර විට “In” ලෙසත් පිරිමි කොන්ඩම් “Out” ලෙසත් හැඳින්වෙනවා.
ඒවාගේ පෙනුම නම් සමාන කළ හැකි වන්නේ උඩු යටිකුරු කරන ලද ප්ලාස්ටික් බෑග් එකකටයි. පිරිමි උපත් පාලන කොපුවට සමාන හැඩැති ලිහිසි ප්ලාස්ටික් ආවරණයකින් සමන්විත වෙනවා.
නිව් යෝර්ක් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, පිරිමි කොන්ඩම් මෙන් නොව, ඒවා සාපේක්ෂ වශයෙන් ඉඩකඩ සහිත වන අතර Nitrile වැනි කෘතිම රබර් වර්ග භාවිත කර සාදනු ලබයි.
මෙම කොන්ඩම් පිරිමි කොන්ඩම් මෙන්ම ලිංගාශ්‍රිත රෝග (HIV ඇතුළුව) සහ ගැබ්ගැනීම් යන දෙකටම එරෙහිව ආරක්ෂණ ක්‍රමවේදයක් විදියට භාවිත කරන්න පුළුවන්.
මේවා නිවැරදිව හා අඛණ්ඩව භාවිතා කරන්නේ නම් 95% ක් ඵලදායී වෙන බව අධ්‍යයනවලින් තහවුරු වී තියෙනවා.
ගැබ් ගැනීම වැළැක්වීම සඳහා කාන්තා කොන්ඩම් අවම වශයෙන් 80%ක් ඵලදායී බවයි සැලකෙන්නේ. එමෙන්ම ශුක්‍රාණු නාශකයක් එකතු කිරීමෙන් කාර්යක්ෂමතාව වැඩි කර ගත හැකි බව පැවසෙනවා. (ශුක්‍රානු නාශක යනු අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා ජනප්‍රිය තවත් නමක් වන අතර උපත්පාලනය සඳහා වන රසායනික ක්රමයන්ය)
ඒ වගේම මේ සම්බන්ධයෙන් පවතින එක මතයක් තමයි කාන්තා කොන්ඩම් පිරිමි කොන්ඩම් වලට වඩා වෙනස් නිසා ඒවා කිසිවිටෙක එකට භාවිතා නොකළ යුතුයි කියන දේ. ඒත් ඊට පටහැනිව 2020 දී විශ්වාසනීය මූලාශ්‍ර අධ්‍යයනයකින් සොයා ගත් කරුණු අනුව, පර්යේෂකයන් සඳහන් කළේ බාහිර හා අභ්‍යන්තර කොන්ඩම් එකවර භාවිතා කිරීම HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග වලට එරෙහිව හොඳම ආරක්ෂාව සැපයිය හැකි බවයි. මෙය තහවුරු කිරීමට, අමතර අධ්‍යයනයන් අවශ්‍ය බව ද ඔවුන් සඳහන් කළා. එසේවුවත් NWHN (National Women’s Health Network) වැනි සංවිධාන මිනිසුන්ට කොන්ඩම් වර්ග දෙක එකට භාවිතා කිරීම නිර්දේශ කරන්නෙ නැහැ.
කාන්තාවන් කොන්ඩම් නිසි කාලයක් අරගෙන පුහුණුවීමකින් පසු භාවිත කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ වගේම කාන්තා කොන්ඩම් තවමත් වෙළඳ පොළේ පිරිමි කොන්ඩම්වලට වලට වඩා මිලෙන් තරමක් වැඩියි කියලයි වාර්තා වන්නේ.
කාන්තා කොන්ඩම් භාවිත කරනවා නම් මතක තියා ගන්න
ලිංගිකව එක්වන සෑම අවස්ථාවකම නව කාන්තා උපත් පාලන කොපුවක් භාවිතා කරන්න.
පිරිමි සහ කාන්තා කොන්ඩම් දෙකම එකවර භාවිතා නොකරන්න.
කාන්තා කොන්ඩමය ඉරී ගියහොත් එය ඉවත දමා අලුත් එකක් භාවිතා කරන්න.
ශුක්‍රාණු නාශකයක් සමඟ භාවිතා කරන විට ගැබ් ගැනීම වැළැක්වීමට වැඩි ඉඩක් පවතී.
කොන්ඩම් වලට සියලුම ලිංගාශ්‍රිත රෝග වලට එරෙහිව ආරක්ෂාව සහතික කළ නොහැකියි. විශ්වාසවන්ත සහකරුවෙකු කොන්ඩම් එකකට වඩා සිය දහස් ගුණයක් ආරක්ෂිත නිසා ඔයාගෙ සහකරුවා තෝර ගන්න විට ඔහු හෝ ඇය ගැන තවත් හිතන්න. අනාරක්ෂිත බවක් දැනෙනවා නම් ඔයා වගේම ඔයාගේ සහකරුත් වහාම ලිංගාශ්‍රිත පරීක්ෂණ සඳහා යොමු වෙන එක තමයි වඩාත්ම සුදූසු දේ වෙන්නේ.
දැන් තේරෙනවද? කාන්තා කොන්ඩම් එකක් කියන එකේ ලොකු අවුලක් නෑ කියලා ඒ වගේම ඒක මැජික් එකකුත් නෙවෙයි කියන දේ.
-සූ-
(අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරෙනි