
මිනිස් වර්ගයා කියන්නෙ උපතින්ම කුතුහලය කියන දෙයට මහත් ඇල්මක් දක්වන සත්ත්ව කොට්ඨාසයක් කිව්වොත් කවුරුත් මා සමඟ එකඟ නොවී ඉන්න එකක් නැහැ. පොඩ්ඩක් හිතන්නකෝ අපි බෞද්ධ දැනුම් පද්ධතියට අනුව කියැවෙන මේ මොහොතේ ජීවිතය ගැන මහා ඉහළින් කතා කළාට ඒ දර්ශනයට අනුව දිවි ගෙවන්නේ කීයෙන් කීදෙනාද. මිනිස් වර්ගයා හැම මොහොතම දැඩි හඹා යෑමේ ආශාවකින් පෙළෙනවා. වර්තමානය තුළ මොනතරම් ජීවත් වෙන්න කිව්වත් නොනවතින අතීතමය කුතුහලයකින් සහ අනාගතය පිළිබඳව විසල් චකිතයකින් මිනිසුන් දිවි ගෙවනවා.
අනාගතය කෙසේ වෙතත් අතීතයට ගමන් කරන මහා ප්‍රබල අතීතකාමයක් මිනිසුන්ට තිබෙනවා. අතීතය පිළිබඳව හදාරන්න අතීතයට පෙම් බඳින මිනිසුන් වගේම තමයි, අතීත උරුමයන් විනාශ කරන්න අතීතය සම්බන්ධයෙන් පදනමක් නැති සාවද්‍ය මත ගොඩනඟන්නත් ඇතැම් පිරිසක් යොමු වෙලා තිබෙනවා. අතීත රජ දවස පිළිබඳව විසල් කුතුහලයකින් ආපස්සට ගමන් කරන විට අපිට අහන්න දකින්න ලැබෙන කතාවක් තමයි නිදන් කියන්නේ.
මේ නිදන් පිළිබඳ කුතුහලය ලෝකයේ ඕනෑම තැනක දකින්න පුළුවන්. නිදන් ගැන නිර්මාණය වුණු කතාන්දර විශාල ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. ඒ වගේම තමයි ඇතැම් පරසිඳු පුද්ගලයන්ගේ නාමකායනුත් යහමින් මේ නිදන් කතාන්දරයත් එක්ක අෑඳෙනවා. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ කවුරු කවුරුත් කතා වෙන අමුතු වර්ගයේ නිදන් පිළිබඳව. නිදන් ගැන කතා කරද්දි අපිට නිරන්තරයෙන් ඇහෙන වදනක් ලෙස
නිදන් වදුලු කියන වදන පෙන්වා දෙන්න පුළුවන්. සයිමන් නවගත්තේගමයන්ගේ සංසාරණේයයේ දඩයක්කාරයා, ටෙනිසන් පෙරේරාගේ සක්වළ දඩයම වැනි පතපොතෙහිත් අපිට මේ වදන ගැන අහන්න දකින්න ලැබෙනවා. නිදන් වදුලු කියන්නේ අතීතයේ විවිධ යුගවල රජ දරුවන් නිදන් කොට ඇතැයි සැලකෙන ධන නිධානයන් පිහිටි ස්ථාන මෙන්ම ඒවා හ¾දුනාගත හැකි ආකාරය, ලබාගත හැකි ආකාරය පිළිබඳව ලියැවී ඇති පැරණි ලේඛන
විශේෂයකට. විවිධ යුගවල තැන්පත් කළ නිදන්වල විස්තර මේවායෙහි සඳහන් වෙනවා. නිදන් ගැන කතා කරන විට අපිට අමතක කරන්න බැරි තවත් කතාවක් තමයි ජී. බී. සේනානායක මහතාගේ නිධානය කියන කෙටිකතාව. ජී. බී. සේනානායක මහතා ලියූ පළිගැනීම කියන කවි කෙටිකතා එකතුවේ තමයි මේ කතාව එන්නේ. පසුකාලීනව ලාංකික සිනමාවේ පතාක යෝධයා වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මේ කතාව ජී. බී. සේනානායකයන්ගේ කතාව පරයා යන අන්දමින් නිර්මාණය කරනවා. එහෙනම් අපි බලමු ලෝකයේ බොහෝ දෙනාගේ මුවෙහි රැව්දෙන නිදන් මොනවාද කියලා.
ෂීබා රැජනගේ මුද්ද
‘ප්‍රඥාව සැඟවුණු නිධානයක් වගේ. ඒක හොයන්න. මටත් ඒ වගේ උනන්දුවක් තියෙනවා?’ (හිතෝ 2:1-6). මේ උපුටනය සඳහන් වෙන්නේ බයිබලයේ හිතෝපදේශය කියන පොතේ. මෙහෙම කියන්නේ ෂීබා රැජන. ලෝකයේ මිනිස්සු හොයන වස්තූන් අතර ඉහළින්ම තිබෙන නිදන් වස්තුවක් තමයි ෂීබා රැජනගේ මුද්ද කියන්නේ. ෂීබා රැජන කියන්නේ මහා ප්‍රඥාවක් තිබුණු බව සඳහන් වෙන රැජනක්. මීට වසර කිහිපයකට පෙර බි්‍රතාන්‍ය පුරාවිද්‍යාඥවරියක් ඇතුළු පිරිසක් බයිබලයේ එන ෂීබා රැජනගේ අබිරහස සැඟවී ඇති තැන සොයා ගැනීමට සමත් වුණා කිව්වොත් ඔබ
විශ්වාස කරනවාද? ෂීබා රැජන රත්තරන් තලෙන්තු (ටැලන්ට්) 120ක් (ටොන් හතර හමාරක් පමණ) තුටුපඬුරු ලෙස රැගෙන ජෙරුසෙලමට ගොස් සොලමන් රජු බැහැදුටු බව බයිබලයේ සඳහන් වෙනවා. එකල ෂීබා රාජධානිය ලෙස හැඳින්වුණේ වත්මන් ඉතියෝපියාව හා යේමනය අතර පෙදෙස. දැන් ඒ ඉපැරැණි රන් ආකරයත් දෙවොලක නටබුන් ආදියත් හමුවී ඇත්තේ උතුරු ඉතියෝපියාවේ ජෙරල්ටා සානුව පිහිටි පෙදෙසේ. එය ආදි කාලයේ ෂීබා රැජනගේ පාලනය යටතේ පැවැති පෙදෙසක්.
ලූයිස් ස්කෝෆීල්ඩ් කියන පුරාවිද්‍යාඥවරිය තමයි මෙය සොයාගෙන තිබෙන්නේ. ඇය එම පුරාවිද්‍යා බිමෙහි අඩි 20ක් උස ගල් ලෑල්ලකින් අවුරා තිබෙනවා දකිනවා. ඒ වගේම ඇය එම ගල් ලෑල්ලෙහි ඉර සහ අඩ හඳ කොටලා තිබෙනවත් දකිනවා. මෙම සලකුණ ෂීබා රැජනගේ ලාංඡනය බව දැනගත් පසුව ඇය මෙහි කැණීම් සිදු කිරීම අරඹලා තිබෙනවා. ස්කෝෆීල් ඔබ්සර්වර් පුවත්පතට මෙන්න මෙහෙම කියනවා “මං ඒ ගල අස්සට බඩගාගෙන ගියා. එහි අඩි 9ක් දිග පෙණය පුප්පාගත් නාගයකු සිටියා. ඊළඟට මට කෙළින්ම දැකගත හැකි වුණේ සේබියන් බසින් ලියැවුණු වගන්තියක්. ඒ භාෂාව තමයි ෂීබා රැජන කතා කරන්නට ඇත්තේ” කියායි. මෙම භූමිය අසලින් ඇයට සියුම් කැටයම් සහිත ගල් කුලුනු කිහිපයකුත් හමුවෙනවා. ඇය මුලින්ම විශ්වාස කරලා තිබුණේ මේ කුලුනු සඳ දෙවි¾දුන් වෙනුවෙන් පැවැති දේවාලයක නටබුන් කියලයි.
එමෙන්ම එම භූමිය ෂීබා රැජනගේ රන් ආකරය බවත් මිනිසුන් ඒ අසල ගඟෙහි රත්රන් සොයා නිරර්ථක වෑයමක යෙදීම අනුවණ ක්‍රියාවක් බවත් පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණා. ෂීබා රැජනගේ නගරය අයත් වන්නේ ක්‍රි. පූ. 8 වැනි සියවසට. එම ශිෂ්ටාචාරය වසර දහසක් පමණ පැවැති බවද කියැවෙනවා. ෂීබා රැජනගේ රාජධානිය පොහොසත් රාජධානියක් බවට පත් වූයේ ජෙරුසෙලමත් රෝම අධිරාජ්‍යයත් අතර කුළුබඩු වෙළෙ¼දාමෙන් බවත් පතපොතෙහි සඳහන් වෙනවා.
ෂීබා රැජන ගැන බයිබලයේ වගේම ඉස්ලාම්වරුන්ගේ කුර්ආනයෙත් සඳහන් වෙනවා. ඒවායේ දක්වා ඇති විස්තර අනුව ඇය සොලමන් රජු හමුවීමට ගොස් ඇත්තේ විශාල වස්තුවක් සමඟ බවත් කියැවෙනවා. එලෙස රැගෙන ගිය බඩු භාණ්ඩ අතර කුළුබඩු, විශාල රත්තරන් තොගයක් හා වටිනා මැණික් ආදියද තිබුණු බව සඳහන් වෙනවා. බයිබලයේ සඳහන් ආකාරයට අනුව ෂීබා රැජන සොලමන් රජුගේ ප්‍රඥාව හා ඔහුගේ රාජධානියේ සමෘද්ධිය ගැන කෙතරම් පැහැදුණේද යත් ඇය ආපසු සිය අධිරාජ්‍ය බලා ගියේ රජුට තලැන්ත 120ක රත්තරන් එනම් ටොන් හතර හමාරක රත්තරන්
පරිත්‍යාග කිරීමෙන් පසුව බවත් කියැවෙනවා. බයිබලයේ ලියා නොතිබුණත් ෂීබා රැජනගේ පුරාවෘත්තයට අනුව සොලමන් රජු හා ෂීබා රැජනට දාව පුතෙක් බිහිවුණු අතර. ඔහුගෙන් පැවැත එන පරපුර ඇබිසීනියාවේ රජකම් කළ බවද සඳහන් වෙනවා. එච්. රයිඩර් හැගාඩ් (H. Rider Haggard) කියන කතුවරයා 1910දී ෂීබා රැජනගේ මුද්ද කියලා (Queen Sheba’s Ring) පොතක් රචනා කරනවා. මධ්‍යම අප්‍රිකාව පදනම් කරගෙන ලියැවුණු මෙම ත්‍රාසජනක නවකතාව තුළ ෂීබා රැජනගේ මුද්ද පිළිබඳ මිථ්‍යා කතන්දරය විස්තර වෙනවා. ෂීබා රැජනගේ රන් ආකරය මේ විධියට හමුවුණත් ෂීබා රැජනගේ මුද්ද ගැන නම් තවමත් නිසි තොරතුරක් අනාවරණය වී නැහැ.
බූට්ස් ඔෆ් කෝටෙස් රන් කුට්ටිය (Boot of Cortez)
1989 වසරේ එක් දවසක මෙක්සිකානු වැසියෙක් ගුවන්විදුලි උපකරණ අලෙවි කරන වෙළෙඳසලකට ගොඩවැදී ලෝහ අනාවරකයක් (Metal Detectors) මිලදී ගැනීමට කටයුතු කරනවා. මෙක්සිකෝ දේශසීමාවට අයත් සොනෝරන් නමැති තහනම් කාන්තාරයට මේ මිනිසා යන්නේ ඉන් පසුව. ආධුනික පෞරාණික වස්තු ගවේෂකයකු වීමට පෙරුම් පුරමින් සිටි මේ මිනිසා කුමක් හෝ ලෝහමය වස්තුවක් සොයා ගැනීමේ අරමුණින්
සොනෝරන් කාන්තාරයට හොර රහසේම ඇතුළු වෙනවා. රන් සහ රිදී බහුලව තිබෙන පතල් උතුරු මෙක්සිකෝව පුරා විසිරී පවතින බව පිළිගැනෙනවා. නමුත් කාන්තාරයක් තුළ රන් කුට්ටියක් හෝ වෙනත් ලෝහමය කැබැල්ලක් සොයා ගැනීමට ලැබෙනවා කියන එක හරිම කලාතුරකින් සිදුවන දෙයක්. මේ මිනිසාට තමන්ගේ ගෙමිදුල ආශ්‍රිත පොළොවේ මිහිදන්ව පැවැති පුරාණ කාසි කිහිපයකුත් ලැබී තිබුණු නිසා මේ වැඩේ පිළිබඳව ඔහුට විසල් විශ්වාසයකුත් ඇති වෙලා තිබුණා. රන් කුට්ටි බහුලව තිබෙන බවට කටකතා පැතිර ගිය සොනෝරන් කාන්තාරය සමීපයේ පිහිටි ග්‍රෑන් ඩෙසිඒටෝ දි අල්ටර් (Gran Desierto de Altar) නමැති උප පාරිසරික ප්‍රදේශය මෙයින් අනතුරුව ඔහු පරීක්ෂා කළා.
මෙලෙස පරීක්ෂා සිදු කරන විට ඔහුට හදිසියේම බීප් හඬක් සිය උපකරණයෙන් ඇහෙන්න ගන්නවා. මේ ආධුනික ගවේෂකයාට එම බීප් හඬ ඔහුගේ දිවිය වෙනස් කරනා බව නොසිතන්නට ඇති. ඔහු එම භූමිය කැණ විශාල රන් කැබැල්ලක් ගොඩ ගන්නවා. ආධුනික ගවේෂකයා උපකල්පනය කළ ප්‍රමාණයට සාපේක්ෂ විශාල වර්ගඵලයකට මේ රන් කැබැල්ල හිමිකම් කීවා. කැණීම අවසානයේ සිදුකළ පරීක්ෂාවෙන් අඟල් 10 3/4 ක උසකුත් අඟල් 7 1/4ක පළලකුත් එකී රන් කැබැල්ල සතු වුණා. බූට් සපත්තුවක හැඩැය ගත් එම රත්රන් කැබැල්ල රාත්තල් 26කට වැඩි බරකින් සමන්විත වුණා. මෙලෙස හමු වූ රන් කුට්ටියට මේ මිනිසා අරුම පුදුම නමක් දුන්නා. ඒ “Boot of Cortez”. Boot of Cortez සොයාගත් ආධුනික
ගවේෂකයා ඩොලර් 30,000 ක මුදලකට එය අලෙවි කළා. අදහාගත නොහැකි අනෙක් දෙය තමයි 2008 වසරේ පැවැති වෙන්දේසියකදී ඩොලර් මිලියන 1,553,500 ක ලංසුවකට Boot of Cortez රන් කුට්ටිය අලෙවි වෙන එක. ඩොලර් 30,000ක මුදලකට මේ මහා ධන නිධානයක් බ¾දු රන් කුට්ටිය විකිණු ආධුනික ගවේෂකයාට මොකක් හිතෙන්න ඇතිද? ඇත්තටම Boot of Cortez ධන නිධානයක් නෙවෙයිද?
වයිකිංවරුන්ගේ
ආභරණ පොදිය
ලංකාවේ ටී. වී. සීරීස් ලෝලීන් අතර ඉහළින්ම තිබෙන ටෙලි කතා මාලාවක් තමයි ද වයිකිංස් කියන්නේ. වයිකිංවරුන්ගෙ නිධාන ගැන ඔයාලා අහල තිබෙනවාද? ස්කැන්ඩිනේවියාව නිජබිම කරගත් වයිකිං මුහුදු කොල්ලකරුවන් උතුරු මුහුද හරහා බි්‍රතාන්‍ය දූපත් වෙත ළඟාවී එම දූපත් මංකොල්ලකෑම සිදු කළා. 8 වැනි සියවස එම සිදුවීමට තුඩු දුන් කාලවකවානුව බව පත පොතෙහි සඳහන් වෙනවා.
මෙයින් ශතවර්ෂයක් ගෙවී ගිය කල ස්කොට්ලන්තය, එංගලන්තය සහ අයර්ලන්තය තුළ ස්ථිර ජනාවාස පිහිටුවා ගැනීමට වයිකිංවරුන් කටයුතු කරනවා. වයිකිං පෙළපතට අයත් රජවරුන් එංගලන්තය පාලනය කළ බව ඔබට හිතන්න පුළුවන්ද? 11 වැනි සියවසේදී එසේ ඔවුන් එංගලන්තය පාලනය සිදු කළ බවට සාධක හමුව තිබෙනවා. එක්සත් රාජධානි ඉතිහාසයට අයත් විශාලතම වයිකිං භාණ්ඩ එකතුව ගවේෂණයකින් සොයා ගැනීමට ඩෙරෙක් මැක්ලෙනන් නමැති ව්‍යාපාරිකයා සමත් වුණා. ක්‍රිස්තු වර්ෂ 900දී මිහිදන් වන්නට ඇතැයි අනුමාන කරන මෙම වයිකිං කෞතුක භාණ්ඩ
සමූහය 2014 වසරේ සැප්තැම්බර් මසකදී සොයා ගැනුණා. ගැලෝවේ හෝර්ඩ් (Galloway Hoard) යන විරුදාවලියෙන් හැඳින්වූ මෙම අනගි නිධානය වයිකිං කාලවකවානුවට අයත් භාණ්ඩ 100කින් සමන්විත වුණා. ඩෙරෙක් මැක්ලෙනන් නමැත්තා ස්කොට්ලන්ත භූමි අභ්‍යන්තරයේ සිදු කළ ගවේෂණයකදී මධ්‍යකාලීන යුගයට අයත් කාසි 300ක් මීට ප්‍රථම අවධියක සොයාගෙන තිබුණා. මධ්‍යම ආසියාව කේන්ද්‍රීයව නිර්මාණය වූ ලිනන් ගෙත්තමින් යුත් භාජනය ගැලෝවේ හෝර්ඩ්ට අයත්ව තිබූ විශාලතම කෞතුකය බව පිළිගැනෙනවා. රිදියෙන් නිම කළ කුරුසියක සහ රන් පත්‍ර මෙන්ම පළිඟුද ඔබ්බවා සකස් කළ භාජනය ඩෙරෙක් මැක්ලෙනන් සිදුකළ ගවේෂණයේදී සොයා ගැනුණා.
ගිහාන් සචින්ත



