වියළි ටෙලි නාට්‍යය විකාශය වෙද්දි එහි ‘කාන්ති’ගේ චරිතය ගැන ප්‍රේක්‍ෂකයන් අතර විශේෂයෙන් කතාබහට ලක්වුණා. මේ චරිතය වෙනුවෙන් චන්දිමා කරුණාදාසට පෞද්ගලික ජීවිතේ ලොකු කැපකරීම් කරන්නත් සිදුවෙලා තියෙනව. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් හැටියට රයිගම් ටෙලි සම්මාන උළෙලේදි හොඳම සහය නිළිය අතරට ඇයගේ නමත් යෝජනා වෙනව. මේ, කාන්ති ගැන චන්දිමා කියන කතාව.
චන්දිමා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ‘කාන්ති’ නිසා හොඳම සහය නිළියට නිර්දේශ වෙනවා?
ඔව්, මේ රයිගම් ටෙලි සම්මාන උළෙලකදි මාව නිර්දේශ වුණ දෙවැනි අවස්ථාව. රංගන ශිල්පිනියක් හැටියට මට ඒ ගැන හරිම සතුටුයි, කාන්ති කියන්නෙ පෞද්ගලිකව මම හරි ආසාවෙන් කරපු චරිතයක් සහ පෞද්ගලික ජීවිතේ ලොකු කැපකිරීමක් කරමින් රංගනයට දායක වුණ නිර්මාණයක්. ඒ වගේම මම ගොඩක් ආදරය කරන රංග පෞරුෂයන් දෙකක් වන දුලීකා මාරපන මහත්මිය සහ සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය එක්ක තමයි මාව නිර්දේශවෙලා තියෙන්නෙ. මේ නිසා මට මං ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනව.
කාන්ති එක්ක මේ තරම් දුරක් යන්න පුළුවන්වෙයි කියල මුලදි නිකමට හරි දැනුණාද?
ඇත්තටම මම එහෙම හිතල චරිතය භාරගත්තෙ නැහැ වගේම සම්මාන බලාගෙන රංගනයෙ යෙදුනෙත් නැහැ. නමුත් ලැබෙන චරිතයකට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්නම් තමයි මම ඒක භාරගන්නෙ. කැපවීමෙන් චරිතය කරනව කියන දේ මුල ඉඳන් මේ දක්වාම මම හිතනව. ඒකට මගේ කණ්ඩායමෙනුත් උපරිම සහයෝගය ලැබෙනව.
කාන්තිට සාධාරණයක් කරන්න ඔබේ පුංචි බබාවත් අරගෙන හම්බන්තොට ෂූටිං යනව?
ඒක තමයි මම මගේ පෞද්ගලික ජීවිතයේ කරපු ලොකුම කැපකිරීම. ඉරුගල් අයිය මට චරිතය වෙනුවෙන් ආරාධනා කරනකොට මගේ දුව ලැබිල මාසයයි දවස් කිහිපයක් ගෙවුණා විතරයි. මම ඔහුට කිව්වා, අයියේ මට දුව ලැබුණ විතරයි ඔයා ටිකක් කල්පනා කරල හොඳ දෙයක් කරන්න කියල. ඔහු නැවතත් මට කතාකරනකොට දුවට මාස දෙකයි දවස් ගාණක් වුණේ. ඉන් පස්සෙ මමයි මගේ සැමියයි දුවව අරගෙන තිස්සමහාරාමයට ගියා. මේ ගමන මම ගියේ ලොකු බයකින්. මොකද ඒ පරිසරයට අපිට අනුගත වෙන්න පුළුවන් වුණාට පුංචි දරුවට ඒක පුළුවන් වෙයිද කියල. පැය දෙකෙන් දෙකට කිරි දුන්නෙ එලාම් එක තියාගෙන. සමහර වෙලාවට මම කිරි දීල එනතුරු ෂූටිං නතරකරගෙන හිටියා. හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ඇතුවයි මම මේ චරිතය කළේ. ඒ කැපකිරීමට අද මට වටිනාකමක් ලැබිල තියෙනව. කවද හරි මට මගේ දුව ලොකු වුණාම මේ කතාව කියන්න පුළුවන් වෙයි.
‘වියළි’ ටෙලි නාට්‍යය සම්මාන ගොන්නකට නිර්දේශ වෙනව?
ඔව්, වියළි ටෙලි නාට්‍යය සම්මාන දහතුනකට නිර්දේශ වෙනව. අපි වැඩකරන නිර්මාණයක් මේ වගේ තැනකට එනකොට කණ්ඩායමක් හැටියට අපිට හදවතින්ම සතුටු වෙන්න පුළුවන්. ප්‍රේක්‍ෂක ආදරය වගේම අපි සාර්ථකව මේ නිර්මාණය කළා කියන ආත්මතෘප්තිය අපිට ලැබෙනව.
දුලීකාගේ හෝ සේමිණීගේ අතට මේ සම්මානය ලැබුණොත්?
අනේ… කිසීම ප්‍රශ්නයක් නැහැ. කලිනුත් කිව්වා වගේ ඔවුන් මම පෞද්ගලිකව ගොඩක් ආදරය කරන, මට වඩා ගොඩක් ප්‍රවීණ රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා සමග සම්මානයට නිර්දේශ වීම ම මට ලොකු සතුටක්.
මේ දවස්වල මොනවද වැඩකටයුතු?
නිර්මාණ කිහිපයක් භාරගෙන තිබුණත් යම් යම් සිදුවීම් එක්ක එවා ප්‍රතික්‍ෂේප කරන්න සිද්ධ වුණා. ඒ අතරින් එක නිර්මාණයකට සම්බන්ධවෙලා වැඩකරමින් යනව. ඒකට විතරයි මම දැනට සම්බන්ධවෙලා ඉන්නෙ.
චරිත තෝරාබේරා ගැනීමක් කරන නිසාද නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන්න සිදුවෙන්නෙ?
චරිත තෝරාබේරාගැනීමක් කරන්නෙ නැහැ. නමුත් මම කැමතියි මගේ හැකියාවන් පෙන්නන්න පුළුවන් විදිහේ චරිත ලැබෙනවනම්. මෙතැනදි සිදුවුණේ එක නිර්මාණයකට මට කතා කළාම මම කිව්වා ෂූටිං වලට යද්දි සමහරවිට මට දුවවත් අරගෙන එන්න වෙයි කියල. නමුත් ඔවුන් ඒකට කැමති වුණේ නැහැ. ඉතිං මට ඒ නිර්මාණය ප්‍රතික්‍ෂේප කරන්න සිදු වුණා.
අද ඔබේ වෘත්තිය රංගනයද?
නැහැ. මම වෘත්තීයමය රංගන ශිල්පිනියක් හැටියට කටයුතු කරන්නෙ නැහැ. මම ඉගෙනගත්ත දෙයින් රජයේ රැකියාවක් කරනව. නමුත් මේ දවස්වල නිවාඩු අරගෙන රංගනය වෙනුවෙන් කාලය යොදවල තියෙනව.
‘ඩාලිං අක්කා’ ගැන කතා කළොත්?
ඇත්තටම මේ චරිතය මගේ ජීවිතයට කොච්චර බලපෑවාද කිව්වොත් අදටත් සමහර අය මට කතාකරන්නෙ ඩාලිං අක්කා කියල. සම්මාන නිර්දේශ උළෙලට සහභාගි වුණ වෙලාවෙත් ගොඩක් දෙනෙක් කිව්වෙ අපි ඩාලිං අක්කගෙ චරිතයෙන් තමයි ඔයාව හඳුනාගත්තෙ කියල. මේ චරිතය හරහා තමයි මට වැඩිපුරම ප්‍රේක්‍ෂකයන් අතරට යන්න පුළුවන් වුණේ. කෙටියෙන්ම කිව්වොත් මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වුණේ ඩාලිං අක්කා. ඒ වෙනුවෙන් ශිවා අයියට, සද්ධා අයියට ස්තූතිවන්ත වෙන්න ඕන.
චන්දිමා මොන වගේ චරිතයක්ද?
මම කාටවත් කරදරයක් නැතිව, හරි නිදහසේ, මගේ පාඩුවේ වැඩකරගෙන ඉන්න කැමති කෙනෙක්. මගේ කතාබහ ටිකක් අඩුයි. ගොඩක් වෙලාවට මං ගැන නොදන්න කෙනෙක් මගේ ගතිලක්‍ෂණවලට දෝෂාරෝපණ එල්ලකරන අවස්ථාත් තියෙනව.
වේදිකාවට, සිනමාවට ආරාධනා ලැබුණද?
ඔව්, ආරාධනා ලැබුණා. නමුත් ඒ කාලවකවානුවේ මට දුව ලැබෙන්න හිටියෙ. ඒ නිසා ලැබුණ ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න සිදු වුණා. මට රංගනය වෙනුවෙන් මුල්ම අඩිතාලම වැටෙන්නෙ කැලණිය සරසවියේ වේදිකාවෙන්. ඉතිං වේදිකාවට මම කවදත් ආදරෙයි. සිනමාවට මෑතකදි ආරාධනා ලැබුණෙ නැහැ.
දුව සමග ගෙවන ජීවිතය?
ඇත්තටම ඒක හරිම සුන්දරයි, ඒ වගේම වෙහෙසකරයි. මොකද කොළඹ ඉන්නෙ මමයි, දරුවයි, මහත්තයයි විතරයි. දුවවත් බලාගෙන තනියම මගේ වැඩකටයුතු ටිකත් කරගන්න ඕන. දුවටත් ඒ වගේම තමයි. මම ෂූටිං යනකොට අරගෙන ගියාම එයාටත් ලොකු අපහසුතා විඳින්න සිදු වෙනව.
මහේෂ් එදිරිසිංහ