මම තාම හිතින් ඉන්නේ අවුරුදු 20 ගණන් වල… – ඕෂධී හේවාමද්දුම

මම තාම හිතින් ඉන්නේ අවුරුදු 20 ගණන් වල… – ඕෂධී හේවාමද්දුම

ඕෂධී හේවාමද්දුම කියන්නෙ ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු කවුරුත් ආදරේ කරන රුවැත්තියක්. මේ දිනවල නම් ඇයව දකින්න ලැබෙන්නේ හිරු නාළිකාවේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ ශෙරින් ආන්ටි ලෙසින්. ඒ ගැන වගේම කලා ලොවේ අලුත්ම තොරතුරු දැන ගන්න රසඳුන ඇය සමඟ කළ සොඳුරු කතාබහකි මේ.

ඕෂධී කොහොමද ජීවිතේ?

ජිවිතේ හොඳින් ගත වෙනවා. හිරු නාළිකාවේ ‘සිහින ගෙනෙන කුමාරියේ‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ ශෙරින් ආන්ටිගේ චරිතය දැන් අවුරුදු තුනක විතර කාලයක් තිස්සේ විකාශය වෙනවා. ඒ වගේම මේ දිනවලත් එහි රූගත කිරි සිදු වෙනවා. ඊට අමතරව තව නිර්මාණ වලට ඇරයුම් ලැබුණත් මගේ අය කිරීම සහ දින වෙන් කර ගැනීමට නොහැකි වීම් එක්ක සමහර ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණා. හැබැයි හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර නොගෙන ඉන්නේ නැහැ.

May be an image of 1 person

ශෙරින් ආන්ටිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

අතිශය ඉහළයි. ඒ කාලේ මම කාව්‍යා සහ පූජා වගේ නාට්‍යය කරද්දී මට කතා කළේ ඒ ඒ නම් වලින්. මේ කාලේ මට කතා කරන්නේ ශෙරින් ආන්ටි කියලා.

අවුරුදු ගාණක් එකම නාට්‍යයකට කොටුවීම අවාසියක් නෙවෙයි ද?

ඒකාකාරී ගතියක් නොදැනෙනවා නෙවෙයි. වෙනස් විදියේ චරිතයක් කරන්න ආසයි. දැන් තියෙන්නේ දීර්ඝ ටෙලි නාට්‍යය නිසා එදා වගේ බලාපොරොත්තු වෙන්න අමාරුයි. හැබැයි අපිට පුළුවන් කරන චරිතේ ඇතුළේ පොඩි පොඩි වෙනස්කම් කරන්න. මම මේ වෙද්දී ටෙලි නාට්‍යය 65 ක පමණ රඟපාලා තියෙනවා. ඒ හැම නාට්‍යයකම චරිතයකට වඩා වෙනස් චරිතයක් ශෙරින් ආන්ටිගේ චරිතය. මම කතා කරන ඇවිදින විදිය වෙනස්. සමහර වෙලාවට අපි දකිනවා හැම චරිතයක්ම එක විදියට කරනවා. අපිට දෙන චරිතයට අපේ කලර් එක එකතු කරන්න ඕනේ. මමත් ශෙරින් ආන්ටිගේ චරිතයට දෙයක් එකතු කළා. මේ චරිතය කලින් ගයනි ගිසන්තිකා අක්කා කළේ. එතකොට මට අභියෝගයක් තිබ්බා එයාගෙන් චරිතයට ලැබුණු ටෙම්පෝ එක කඩා ගන්නෙත් නැතුව මගේ දෙයක් මට කරන්න. මම අධ්‍යක්ෂවරයා එක්ක කතා කරගෙන ඒ දේ කළා. ඒ නිසා මම හිතුවට වැඩිය ප්‍රතිචාර ලැබුණා.

May be an image of 1 person

අලුත් පරම්පරාවට එකතු වෙන අය නිසා නිසි මිලක් කියලා වැඩකට යන්න බැරි කමක් තියෙනවා කියන්නෙ ඇත්තද?

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 20ක්. ඒ අවුරුදු 20 තුළ අපි දුක් මහන්සියෙන් හදා ගත්තු දේවල් ටිකක් තියෙනවා. එකත් එක්ක අපේ අයකිරීමක් තියෙනවා. ඒ වටිනාකම නැති කර ගන්න මම කැමති නැහැ. මගේ වටිනාකම ගෙවන්න පුළුවන් නිර්මාණ ලැබුණොත් පමණයි මම යන්නේ. මොකද මම විශ්වාස කරනවා කිසිම තැනක ඒ වටිනාකම නැති කර ගන්න ඕනේ නැහැ කියන එක. අලුත් අය හින්දා ඒක නැති වෙනවා කියන එක තියෙන්නේ අය කිරීම්වලට පමණක් නෙවෙයි. අලුත් පරම්පරාවේ වෘත්තීය ගෞරවය තියාගෙන වැඩ කරන හොඳ අයත් ඉන්නවා. නමුත් ඇතැම් වෙලාවට සිද්ධ වෙන දේවල් එක්ක කලාකරුවාගේ වෘත්තීය වටිනාකම නැති වෙලාද කියලා අපට හිතෙන අවස්ථා තියෙනවා.

ක්ෂේත්‍රෙය් ඉන්න අලුත් අය අභියෝගයක් ද?

ඒක අභියෝගයක් කියන්න බැහැ. මගේ ජිවිතේ අවුරුදු 20 ගණන්වල මම හොඳටම වැඩ කළා. මගෙන් පස්සේ එන අය මම එදා වැඩ කළා වගේ වැඩ කරනවා. ඒ නිසා කවදාවත් මට අලුත් අය අභියෝගයක් වෙන්නේ නැහැ. විය යුත්තේ එයාලට ගැළපෙන දේවල් ඒ අය කිරීම සහ අපිට සුදුසු අපිට ගැළපෙන දේ අපි කිරීම. ඒ එක්කම අපේ කාලෙත් හතු පිපෙනවා වගේ ආව ගොඩක් අය හිටියා. හැබැයි ඕනෙම චරිතයක් කරන්න පුළුවන් අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක් තමයි අද වෙද්දී මම ඇතුළුව මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ. හැම පරම්පරාවකම එවැනි අය බිහිවෙනවා. හැකියාව වාසනා ගුණය කියන දේ එක්ක තමයි තමන්ගේ පැවැත්ම තීරණය වෙන්නේ. ඒ නිසා අලුත් අය අභියෝගයක් කියන එක ගැළපෙන්නේ නැහැ. තරගය තියෙන්න ඕනේ තමන් එක්ක සහ තමන්ගේ මට්ටමේ අය එක්ක. ඕනෙම ක්ෂේත්‍රයක වෘත්තීය තරගකාරිත්වයක් තිබිය යුතුයි කියන එකත් මම විශ්වාස කරනවා.

May be an image of 1 person

සිනමාවෙන් ඔබ දායක වුණු නිර්මාණ එන්න තියෙනවා ද?

පසුගිය දවස්වල ශ්‍රී සිද්ධා සිනමා නිර්මාණය තිරගත වුණා. ඒ එක්කම පපා හවුස් චිත්‍රපටය ඇතුළු චිත්‍රපට තුනක් වගේ එන්න තියෙනවා. කොයි කාලේ ඒ දේවල් තිරගත වෙයිද කියන එක කියන්න බැහැ. නමුත් මම ආසාවෙන් ඉන්නවා හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න.

කොහොම වුණත් එදා වගේම අදත් ලස්සනට සුන්දරව ඉන්න රහස මොකක් ද?

ඒකට හේතුව මම ගොඩක් දේවල් නොකරන නිසා වෙන්නත් ඇති. මාව දන්නා අය දන්නවා මම සැලෝන් එකකට ගියත් මම යන්නේ මගේ අත් දෙකේ සහ කකුල් දෙකේ නියපොතු ටික හදාගන්න. මම මගේ මූණට වඩා සැලකිල්ල දක්වන්නේ මගේ අත් කකුල්වලට. මූණට නම් මම ගෙදර ඉඳන් කරන මගේ රූටින් එකක් තියෙන්නේ. මම හැම තිස්සෙම අවුට්පුට් එකට වඩා ඉන්පුට් එක ගැන හිතන කෙනෙක්. දැන් අපි අපේ වයස එක්කත් අපි කරන්න ඕනේ ශරීරය ඇතුළට කරන්න ඕනේ සත්කාර ටික. මම කොහොමත් කෑමබීම ව්‍යායාම ටික හරියට කරන කෙනෙක්. මම පහුගිය කාලේ මහත් වෙලා හිටියා. නමුත් දැන් අවුරුදු එකහාමාරක කාලයක ඉඳන් හැමදේම හරියට පවත්වාගෙන යන්න පටන් ගත්තා. කෙට්ටු වුණේ ලස්සනට ඉන්න ඕනේ එකටත් වඩා සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනේ නිසා. හමේ පැහැය නම් මම වසර 10කට 12කට කලින්ම වෙනස් කර ගත්තා. ඒක හැමෝම දන්නවා. ෆේෂල් එක වුණත් මම ගෙදරම කර ගන්නේ. සැලෝන් යන්නේ කොහේ හරි යද්දී මේකප් එක කරගෙන කොන්ඩේ හදාගන්න විතරයි. ඊට අමතරව මම වතුර ගොඩක් බොනවා. ව්‍යයාම කරනවා. ඒ එක්කම මානසික සුවය තමයි වැදගත්. මම තාම හිතින් ඉන්නේ අවුරුදු 20 ගණන්වල. මම මගේ පවුල් ජීවිතේ යුතුකම් හරියටම ඉටු කරන කෙනෙක්. හස්බන්ඩ්ගේ දරුවන්ගේ දේවල් කරන ගමන් මම මට කියලත් කාලය වෙන්කර ගන්නවා. මගේ යාළුවො ආශ්‍රය කරන්න, විනෝද වෙන්න ට්‍රිප් යන්න. ඒකෙන් මම ලොකු මානසික සුවයක් අත්විඳිනවා. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා. අපි වයසට කලින් වයසට යන්නේ ස්ට්‍රෙස් වැඩි වුණාම. ස්ට්‍රෙස් අඩු වුණාම ලස්සන වෙනවා.

No photo description available.

දැන් දරුවෝ දෙන්නත් ටිකක් ලොකු නිසා පෙර පරිදි නිර්මාණ කරන්න කැමැත්තක් නැද්ද?

දැන් පුතා අලුත් අවුරුද්දේ 8 ශ්‍රේණියට යන්නේ. දුව 2 ශ්‍රේණියට යන්නේ. මම ෂූටින් යද්දී හෝ මගේ බිස්නස් වැඩක් තිබ්බොත් විතරයි හස්බන්ඩ් එයාලගේ වැඩ කරන්නේ. නැත්නම් අනිත් හැම දවසකම මම තමයි ඒ දෙන්නගේ වැඩ කරන්නේ. මම තමයි ඒ දෙන්නගේ සිස්ටම් එක හරියට දන්නේ. ළමයි දෙන්නෙක් එක්ක කාලය ගත කරනවා කියන්නේ ලොකු යුද්ධයක්. නිර්මාණ භාර ගන්නේ අඩුවෙන් කියන එකට වඩා ඇත්තම කාරණය පොඩ්ඩක් විතර කම්මැලියි. ඒ නිසා හොඳ නිර්මාණයක් ආවොත් කරනවා කියන තැන සහ මගේ මුදල ලැබෙනවා නම් මම කරනවා කියන තැන ඉන්නේ. කලාව නැතුව බැරි නිසා එක නිර්මාණයක් හෝ කළ යුතු නිසා තමයි හිරු නාළිකාවේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙන්නේ.

2025 ට තියෙන අරමුණු මොනවද?

ලොකු ඉලක්ක අරමුණු නැහැ. මේ යන විදියට සාමාන්‍ය විදියට ජිවිතේ ගත කරන්න ලැබිලා, ප්‍රශ්න එන්නේ නැතුව කරන වැඩ ටික කරදරයක් නැතුව කරගෙන යන්න තියෙනවා නම් ඒක තමයි ලොකුම අරමුණ. මම මගේ ජීවිත කාලය තුළ ගොඩක් දේවල් කරපු කෙනෙක්. රංගනයට සීමා වුණේ නැහැ. මම සින්දු කිව්වා, නිවේදන කටයුතු කළා, දේශපාලනය කළා. ව්‍යාපාර කරනවා. ජාත්‍යන්තර රූ රැජින තරගවලට සහභාගී වෙලා ජයග්‍රහණ කළා. ඉවෙන්ට්ස් සංවිධාන කළා. ගෙදර වැඩ ළමයින්ගේ වැඩ එක්ක මොන මොනවා හරි කරපු කෙනෙක්. ඒ නිසා පවුලේ අයගේ නිරෝගී සුවය එක්ක වැඩ ටික හොඳින් කර ගන්න එක තමයි අරමුණ.

No photo description available.

No photo description available.අනුෂා රණසිංහ

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *